ඉන අඩු නම් ලෙඩ නෑ



ඔබේ බඩ එසේත් නැතිනම් ඉන ලොකු වැඩි නිසා කලිසමට රිංගා ගැනීම අපහසුද ? ඔබේ බී.එම්.අයි. දර්ශකය එසේත් නැතිනම් ශරීර ස්කන්ධ දර්ශකය ඔබේ සිරුරේ බරට සහ උදස සරිලන අයුරින් තිබුණත්, එල්ලා වැටෙන ආකාරයේ ලොකු බඩක්, හෝ ඉනක් ඔබට ඇත්නම් එය ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි නවතම වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ලොකු උදරයක් සහිත පිරිමින් සහ කාන්තාවන් අඩු වයසින් මිය යන බව ද එම වෛද්‍ය පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. එසේ මිය යන්නේ හෘද රෝග, ස්වසන ආබාධ සහ පිළිකා ආදියෙනි. ශරීර ස්කන්ධ දර්ශකය නිසි ලෙස පවත්වා ගෙන ගියත්, දුම්වැටි සහ මත්පැන් පානය නිසා ශරීරය රෝගී වන බව එම වෛද්‍ය පරීක්ෂණය සිදු කළ මයෝ වෛද්‍ය සායනය පැහැදිලි කරයි.

‘බී.එම්.අයි. දර්ශකය ඔබේ සිරුරේ නිරෝගී බව පෙන්වා දෙන්නේ නැහැ. අප සාමාන්‍යයෙන් කියන්නේ, උසට සරිලන බර ඇතිනම් එම පුද්ගලයා නිරෝගී අයකු කියාය. එය නිවැරදියි නමුත්, උදරයේ අනවශ්‍ය විදියට මේදය එසේත් නැතිනම් තෙල් තැම්පත් වී ඇති නම් එය ඔබේ සිරුරේ සාමාන්‍ය කටයුතුවලට බාධාවක්. එම අහිතකර මේදය ඔබේ සිරුරේ කටයුතු අවුල් කර දමනවා. උසට සරිලන බරක් තිබුණාට වැඩක් වෙන්නේ නැහැ. හෘද රෝග, දියවැඩියාව ආදිය වැළැඳීමේ අවදානමක් පෙන්නුම් කරනවා’ යැයි වෛද්‍ය ජේම්ස් චෙර්හාන් පවසයි. මොහු මයෝ වෛද්‍ය සායනයේ වසංගත රෝගී අංශයේ වෛද්‍යවරයෙකි.

පර්යේෂණයට එකිනෙකට වෙනස් අධ්‍යනයන් 11 කින් දත්ත රැස් කර ගෙන ඇත. ඊට ලොව පුරා වෙසෙන ලක්ෂ 6 ක පිරිසක් ද සම්බන්ධ කර ගෙන ඇත. ඒ අනුව, අඟල් 43 ට හෝ ඊට වඩා ඉනක් ඇති පිරිමින්ට, අඟල් 35 ක ඉනක් ඇති පිරිමින්ට වඩා ඉක්මනින් රෝගී වී මිය යෑමේ සම්භාවිතාව වැඩිය. වයස අවුරුදු 40 න් පසු ආයුෂ කෙටි වෙයි. කාන්තාවන්ගේ නම්, අඟල් 37 ට වැඩි නම්, සියයට 80 කට ජීවිතය කෙටි වෙයි. ඒ වයස අවුරුදු 40 න් පසුවය.

දිනෙන් දින වැඩිවන සෑම අඟලක්ම ඔබේ ජීවිතේ කෙටි කරවන බව සායන වාර්තාවේ දැක්වෙයි. ඒ අනුව බී.එම්.අයි. අගය ගැන පමණක් නොව, ඔබට බඬේ ප්‍රමාණය ගැන ද සැලකිල්ලක් දැක්වීමට සිදුවෙයි. ඒ අනුව, කෙනකුගේ නිරෝගී බව තීරණය කිරීම බී.එම්.අයි. අගයට පමණක් සීමා නොකිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ යුතු යැයි ද පර්යේෂණ වාර්තා ඇතුළත් කොට මයෝ වෛද්‍ය සායනය පළ කළ වෛද්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS