හදවත ලෙඩ නම් ඔලුව අවුල්



හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

“මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත.

මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි.

“මොළයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කරුණු ගොඩක් ගැන අද වනවිට අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම හදවත් රෝග නිසා මොළයේ ක්‍රියාකාරීත්වය බලපාන කරුණු ගොඩක් ගැනත් දැන කතාබහක් ඇතිවෙලා. ඒ වගේ සිදුවීම් සහ කරුණු රැසක් අපේ අවධානයට ලක්වෙලා තිබෙනවා. අද වනවිට ආයු අපේක්ෂාව වැඩිවෙලා වගේම හදවත සම්බන්ධයෙන්  කෙරෙන දේවල් වැඩිවෙලා. සැත්කම් වගේම ලබාදෙන බෙහෙත් වගේම කරන ප්‍රතිකාරත් වැඩිවෙලා” යැයි අග්‍රවාල් සඳහන් කළාය. 

මීට පෙර ද හදවත් රෝග සහ මොළයේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදු කර තිබූ අතර ඒවායේ අවසන් ප්‍රතිඵල මිශ්‍ර ස්වභාවයක් ගත්තේය. ඒවායින් වැඩි අවධානයක් යොමු වූයේ ආඝාතය සහ මතකය අඩුවීම කෙරෙහිය. කෙසේ නමුත් නව අධ්‍යයනයෙන් හදවත් රෝග නිසා මොළයට සිදුවන දීර්ඝකාලීන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ. ආඝාතය රෝගී තත්ත්වය නොමැති වැඩිහිටියන් පිරිසක් යොදාගනිමින් සහ වසර 12ක මධ්‍යම අගයක් යොදාගනිමින් මෙම අධ්‍යයනය කර තිබේ. ඊට අමතරව හෘදයාබාධ හෝ පපුවේ අමාරුව (හදවතට රුධිරය ගලා යෑම අඩුවීම නිසා ඇතිවන පපුවේ අමාරුව) යන දෙකෙන් එකක් ලෙස රෝග විනිශ්චය කරන ලද වැඩිහිටියන් පිරිසක් ද මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගෙන තිබේ.

හෘදයාබාධ හා සලකා බැලීමේදී හෘදයාබාධවලට ගොදුරු වූ රෝගීන්ගේ මතක ශක්තිය වේගයෙන් අඩුවන බව අධ්‍යයනයේදී අනාවරණය කරගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත.

හෘදයාබාධ සහ හදවත් රෝග මොළයට බහුවිධ ආකාරවලින් බලපෑම් කරන බව විශේෂඥයෝ පවසති. හෘදයාබාධ සහ හදවත් රෝග නිසා මොළයේ කොටස්වලට ඔක්සින් ගලායෑමට බාධා එල්ල වන බවත් කුඩා රුධිර නාලවලට බලපාන බවත් පැවසේ.  පොදු අවදානම් සහගත තත්ත්ව වන ස්ථුලභාවය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යනාදියට මොළය සහ හදවත අතර සම්බන්ධයට බලපෑම් කරන බව ද අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

“ඔබේ හදවතට හොඳ මොනවද එය ඔබේ ඔළුවටත් හොඳයි” යැයි වෛද්‍ය අග්‍රවාල් සඳහන් කළාය.

හර්ෂණ තුෂාර සිල්වා
සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS