කණ්ණාඩි දානවා නම් කොරෝනා අඩුයි



ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව ඉතා අඩු යැයි ඉන්දීය වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

ඉන්දීය පර්යේෂකයන් මෙසේ පවසන්නේ, පුද්ගලයන් 304 දෙනකු යොදා ගනිමින් ඔවුන් කළ සමීක්ෂණයකට අනුවය. ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ ශරීරගත වන්නේ නාසයෙන්, ඇස්වලින් සහ මුඛයෙනි. දෑත් නිතර පිරිසුදුව තබා ගැනීමට, මුහුණ ස්පර්ශ කිරීමෙන් වැලැකී සිටීමට සහ මුහුණු ආවරණ පැලදීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ මේ නිසාය.

ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ගේ ඇස්වලට වයිරස විෂබීජ යෑම අඩු වන අතර, කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීම ද ඉතා අඩු යැයි සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත. වයිරස ආසාදනය වීම අඩු යැයි පැවැසෙන්නේ ද ඒ අනුවය.

සෑම පුද්ගලයකුම පැයකට 23 වරක් පමණ මුහුණ ස්පර්ශ කරන බවත්, තෙවරක් ඇස් ස්පර්ශ කරන බවත් සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.

‘දීර්ග කාලයක් තිස්සේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ අල්ලන්නේ ඉතා අඩුවෙන්. ඇස් අල්ලන්නේ අඩුවෙන්. එහෙයින් ඔවුන් වයිරසයෙන් ආරක්ෂා වෙනවා.’ යැයි පර්යේෂණ කණ්ඩායම ඉන්දීය මාධ්‍යවලට පවසා තිබේ.

මේ වනවිට ලොව සමස්ත ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් ගණන 1,11,958,000 ක් පසු කර තිබෙන අතර, මරණ වාර්තා වන්නේ 2,477,839 ක් ලෙසය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 87,319,432 කි. තවමත් ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වුවත්, ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. මරණ අතින් ඉන්දියාව ඇතිතේ තෙවැනි ස්ථානයේය.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS