මළසිරුරක් නිසා විල පිරිසුදු කෙරේ



එච්.අයි.වී. ආසාදිත කාන්තාවකගේ කුණු වූ මළසිරුරක් හමුවීමත් සමඟ, ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අක්කර 23 ක විලක් ඉස පිරිසිදු කිරීමට ප්‍රාන්ත බලධාරීන්ට සිදුවිය.

මේ විල පිහිටා ඇත්තේ හුබාලි දිස්ත්‍රික්කයේ මොරාබ් නමැති ගම්මානය අසලය. මොරාබ් ගම්මානයට පමණක් නොව, අසල්වැසි ගම්මාන රැසක වැසියන් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගන්නේ මෙම විලෙනි.

අවුරුදු 30 ක් පමණ වයසැති කාන්තා මළසිරුර හමුවූයේ පසුගිය 29 වැනිදාය. තරුණිය එච්.අයි.වී ආසාදිත තැනැත්තියක බව අනාවරණය වීමෙන් පසු, විලෙන් ජලය ලබා ගැනීම ගම්වැසියෝ ප්‍රතික්ෂේප කළහ. ඒ, ඔවුන්ට එච්.අයි.වී ආසාදනය වේවි යැයි බියෙනි.

මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය හෙවත් එච්.අයි.වී. රෙට්‍රො නමැති වයිරසයකි. මෙම වයිරසය ආසාදනය වීමෙන් පසු සිරුරේ ප්‍රතිශක්තිය හීනවෙයි. එම රෝගී තත්ත්වය ඒඞ්ස් යනුවෙන් හැඳින්වෙයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම මුල්කොට ගනිමින් මරණ සිදුවෙයි.

එච්.අයි.වී. ආසාදනය වීමක් සිදුවන්නේ ලිංගික එක්වීමකදී හෝ රුධිර පාරවිලයනයකදී බවත්, එච්.අයි.වී. ආසාදිතයකු මියගිය ජලය පරිහරණය කිරීමෙන් එච්.අයි.වී. ආසාදනයක් සිදුවන්නේ නැති බවත් පෙන්වා දෙමින්, සෞඛ්‍ය බලධාරීන් කොතරම් ගම්වැසියන් දැනුවත් කළත් එයින් පළක් නොවීම නිසා විල ඉස පිරිසුදු කිරීමට කටයුතු යෙදුණු බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර සිටී.

විල සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමට කළ 20 ක් සහ ජල මෝටර් හතරක් යොදා ගැනීමට ද බලධාරීන්ට සිදුවී ඇති බව වාර්තා වේ. ජලය ඉසීමෙන් පසු අසල පිහිටා ඇති මලප්‍රභා නමැති ඇලෙන් ජලය විලට යළි පොම්ප කිරීමට සිදුවිය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS