මංගල තෑග්ග පුපුරා මනාලයා මැරිලා



මංගල තෑගි අතර පාර්සල් බෝම්බයක් තිබී එය පුපුරා යෑමෙන් ඉන්දියාවේ ඔඩිෂ්සා ප්‍රාන්තයේ මනමාලයකු සහ ඔහුගේ අත්තම්මා මියගියේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අලුත ගෙනා මනමාලිය ද බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. ඇයගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.

මියගිය මනාලයා සෞම්‍ය ශේකාර්ය. බිරිය රීමා සේදුය. දෙදෙනා විවාහ වී ඇත්තේ පසුගිය 18 වැනිදාය. මියගිය අත්තම්මා ජෙමාමානි නමැත්තියයි. ඇය 85 හැවිරිදි වියෙහි පසුවූවාය.

මංගල්‍යය නිමිත්තෙන් ඔවුන්ට ලැබුණු තෑගි අතරේ පාර්සල් බෝම්බය තිබී ඇති අතර එය පුපුරා ගොස් ඇත්තේ කඩා බැලීමට තැත් කරද්දීය. පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ, පුපුරාගිය එම ‘මංගල තෑග්ග’ එවූ කෙනකු ගැන විස්තරයක් සඳහන් වී නැති බවය. සිද්ධිය ගැන දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව ද පොලිසිය කියයි.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS