පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්ම



පිළිකා රෝගය පිළිබඳව පවතින දුර්මත බැහැර කිරීමේ අරමුණින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් තොරතුරු වාර්තා වෙයි.

ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි.

පිළිකා රෝගයෙන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වෙයි.එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු පමණ පියයුරු පිළිකා රෝගයට ගොඳුරු වන බවද වාර්තාවී තිබේ.මේ හේතුවෙන් පිළිකා රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ටියුනීසියානු සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.

පිළිකා රෝගයට ගොදුරුවූ කාන්තාවන් හා දැරියන් සහභාගිවූ විලාසිතා දැක්මක් පසුගියදා පැවැත්වුණේ ටියුනිස් අගනුවරදීයි.

නිරූපිකාවන් දස දෙනෙකු සහභාගිවූ මෙම විලාසිතා දැක්ම නරඹන්නන්ගේ දැඩි ආකර්ශණය දිනා ගත්තේය.මේ අතර නිරූපිකාවන් එහිදී දැක්වූ අදහස් පිළිබඳවත් විදෙස් මාධ්‍ය විශේෂයෙන් වාර්තා කර තිබුණා.

තමා පිළිකා රෝගයට ගොදුරුවූ පසුවත් අලංකාර ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටීමට හා සතුටින් සිටීමට අවශ්‍යවූ බව එක් නිරූපිකාවක් පැවසුවේය.එමෙන්ම පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සමාජයට ධනාත්මක අදහස් ලබාදීමට අපේක්ෂා කරන බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.

RECOMMEND POSTS