පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා



ඔස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර ප්‍රාථමික පාසලක එක් පංති කාමරයකට මෝටර් රථයක් කඩා වැදීමෙන්, අට හැවිරිදි සිසුහු දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ. සිවු දෙනෙක් තුවාල ලැබූහ.

මෝටර් රථය කඩා වැදී ඇත්තේ ඊයේ උදෑසන 9.40 ට පමණ ‘බැන්ක්සියා රෝඞ්’ ප්‍රාථමික පාසලේදීය. මෙම පාසලේ පංති කාමර පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයට යාබදවය.

තුවාල ලැබූ සිසුන් වෛද්‍ය ආධාරකරුවන්ගේ සහාය ඇතිව කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ද පැවැසෙයි.

මෝටර් රථය පදවා ඇත්තේ 52 හැවිරිදි කාන්තාවකි. ඇය අධික වේගයෙන් පැමිණ ඇති අතර, වේගය පාලනය කර ගැනීමට නොහැකි වී පංති කාමරයට කඩා වැදී ඇතැයි පොලිසිය කියයි. එය අනතුරක් බවත් හිතාමතා කළ දෙයක් නොවන බවත් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු පොලිසිය කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS