ප්‍රංශ ජනපතිට තරහා ගිහින්



නිසි ගරුසරුවක් නොමැතිව තමන්ට ආමන්ත්‍රණය කළේ යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ප්‍රංශ ගැටවරයකුට තරවටු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

මෙය සිදුවී ඇත්තේ ප්‍රංශ ජනාධිපති මැක්රොන්, උතුරුදිල ප්‍රංශයේ සැමැරුම් උත්සවයකට සහභාගී වීමට ගිය අවස්ථාවේදීය. සැමරුම පැවැත්වූයේ දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදාවට එරෙහිව සටන් ගෙන ගිය ජනරාල් චාල්ස් දෙ ගෝල් සිහි කරමිණි.

40 හැවිරිදි ජනපති මැක්රොන්, රැස්ව සිටි පිරිස හමුවෙමින්, ඔවුන් අතට දෙද්දී, එම පිරිස අතරේ සිටි ගැටවරයා ජනපතිවරයාගෙන් ‘මානූ, කොහොමද සැප සනීප ?’ යනුවෙන් විමසයි. ‘මානු’ යනු ‘ඉමැනුවෙල්’ යන නමේ කෙටි වදනකි.

තමන්ට ගරුසරු නොදක්වා කතා කළ ගැටවරයා අමතා ඔහුට ඔවදන් දීමට ජනාධිපති මැක්රොන් කටයුතු කළේ ඉන්පසුවය.

‘මේක නිල උත්සවයක්. මම ප්‍රංශ ජනාධිපති. මට ‘මානු’ කියන්න අයිතියක් නැහැ. ගරුසරු ඇතිව කතා කරන්න ඉගෙන ගන්න. මට ‘ජනාධිපතිතුමා’ කියන්න. හැමවිටම අනෙක් අයට ගරු කරන්න ඉගෙන ගන්න. විශේෂයෙන් වැඩිහිටියන්ට. අනාගතයේ දවසක විප්ලවයක් කරන්න වුණත් මුලින් හොඳට ඉගෙන ගන්න ඕනෑ. විභාග පාස් වෙන්න ඕනෑ.’ යැයි සමාජවාදී ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය.

(රොයිටර්)


RECOMMEND POSTS