දැනුම මිනුම තරගය ආන්දෝලනයට



ඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය රූපවාහිනී දැනුම මිනුම තරගය ලෙස සැලකෙන්නේ ‘ජෙපොර්ඩි’ය. සෑම සතියකම, තරගකරුවන් තිදෙනකු තරගයට ඉදිරිපත් වන අතර, ඒ අතරින් ජයග්‍රාහකයාට විශාල මුදල් ත්‍යාගයක් ද හිමිවෙයි.

පසුගිය සිකුරාදා (9) විකාශය වූ වැඩසටහනේ දී, ‘ජෙපොර්ඩි’ වැඩසටහන මෙහෙයවන ප්‍රවීණ නිවේදක ඇලෙක්ස් ටේ‍රබෙක්, කේටී නීඞ්ල් නමැති තරගකාරියට ඉදිරිපත් කළ පැනය වූයේ, ක්‍රි.පූ. 3,000 දී ඉදි කළ ක්‍රිස්තු උත්පත්තියේ දෙව්මැදුර පිහිටා ඇත්තේ කොහෙදැයි යන්නය. කේටී නීඞ්ල්, පලස්තීනය යනුවෙන් ඊට පිළිතුරු දුන් නමුත්, එය වැරදි යැයි නිවේදක ඇලෙක්ස් ටේ‍රබෙක් පැවැසීය.

ඒ අනුව, වෙනත් තරගකරුවකු වූ ජැක් මැගියර් නමැත්තාට පිළිතුරු දීමට අවස්ථාව උදාවිය. එම තරගකරු කීවේ, පිළිතුර ‘ඊශ්‍රායලය’ යන්නය. නිවේදකයා සහ විනිසුරු මඬුල්ල පිළිතුර ඊශ්‍රායලය ලෙස බාර ගත්තේය. ආන්දෝලනයට තුඩු දුන්නේ එම සිදුවීමය.

ක්‍රිස්තු උත්පත්තියේ දෙව්මැදුර ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කරනු ලැබ ඇත. මෙය පිහිටා ඇත්තේ බටහිර ඉවුරේ, බෙත්ලෙහෙමේය. 1967 ජූනි මාසයේ දී, පැවැති සය දින යුද්ධයේදී, ඊශ්‍රායලට බටහිර ඉවුර අල්ලා ගත්තේය. බටහිර ඉවුර තමන්ට අයත් බව ඊශ්‍රායලය පැවැසුවත්, ජාත්‍යන්තරය පිළිගන්නේ එය පලස්තීනයට අයත් පාලන ප්‍රදේශයක් බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS