දතක් එක්ක ඉපදුණු පොඞ්ඩා



එංගලන්තයේ ඩෙවොන් පළාතේ, වෙරළාශ්‍රිත ප්ලයිමවුත් නුවර බිලිඳියක දතක් ඇතිව උපත ලබා ඇති බව වාර්තා වේ.

දතක් ඇතිව උපන් බිලිඳකු ගැන මෙසේ වාර්තා වීම දුලභ සිදුවීමක් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දතක් ඇතිව උපන් මෙම බිලිඳිය ඉස්ලා රෝසා හෙයිස්මාන්ය.

වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ, එම දත ගලවා දැමිය යුතු බවය. ඒ අනුව, රෝසාගේ මව ජැස්මින් දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් ඇත.

‘මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මගේ පුංචි කෙල්ල මෙතරම් අඩු වයසක දත් දොස්තර ළඟ එක්ක යන්න වේවි කියලා හිතුවේ නැහැ. ඇය මට වඩා නිර්භීතයි. දත් දොස්තර ළඟදී ඇය පොඞ්ඩක්වත් ඇඬුවේ නැහැ’ යැයි ජැස්මින් කියයි.

දත ගැලවීම සිදු කර ඇත්තේ ‘සෙවන් ටී්‍රස්’ නමැති දත්ත වෛද්‍ය සායනයේදීය. දත ගැලවීම කළ දන්ත වෛද්‍යවරයා කියා සිටියේ තමන් වෙත ආ ළාබාලතම රෝගියා රෝසා කියාය.

දත ගැලවීමෙන් පසු ‘හොඳ බබා’ කියමින් ස්ටිකරයක් දීමට ද දන්ත වෛද්‍යවරයා කටයුතු කළේ යැයි පැවැසෙයි. දත ගැලවීම කර ඇත්තේ නිර්වින්දන බෙහෙත් පාවිච්චි නොකරය. ඒ, අලුත උපන් බිලිඳකු වීම නිසාය. දත ගලවා ඇත්තේ ක්‍රීම් වර්ගයක් තවරා හිරි වැටීමට සලස්වමිනි.

බිලිඳන්ගේ දත් ඒමට පටන් ගන්නේ උපත ලබා මාස 6 ක් පමණ ගතවෙද්දීය. එතැම් බිලිඳන්ගේ දත් මාස 4 වෙද්දී ඒම සිදුවෙයි. තවත් සමහරුන්ගේ දත් ඒම සිදුවන්නේ වසරක් ගත වෙද්දීය.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS