තායිලන්ත රජුට සෙල්ලම් තුවක්කුවකින් වෙඩි තියලා



ජර්මනියේ මියුනිච් නුවර නිවාඩුවකට ගොස් සවස ව්‍යායාම සඳහා පා පැදියක් පදිමින් සිටි තායිලන්තයේ වජිරලෝන්කෝන් රජුට ගැටවරයන් දෙදෙනකු ප්ලාස්ටික් උණ්ඩ යොදා ගන්නා සෙල්ලම් තුවක්කුවකින් වෙඩි තබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙය සිදුවී ඇත්තේ පසුගිය 10 වැනිදාය. කෙසේ නමුත් මාධ්‍ය ආයතන එම සිදුවීම දැනගෙන ඇත්තේ 21 වැනිදාය. ව්‍යායාම සඳහා පා පැදිය පදිමින් සිටිද්දී, සැඟවී සිටි එම ගැටවරයන් දෙදෙනා රජුට වෙඩි තැබූ බවත් එම අවස්ථාවේදී රජුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මහත් සේ කලබලයට පත්වුණු බවත් වාර්තා වේ.

14 හැවිරිදි සහ 13 හැවිරිදි ජර්මන් ජාතික ගැටවරයන් දෙදෙනකු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණු අතර, රජ කෙනකුට තුවාල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට සිදුවන බව ජර්මන් බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති. දරුවන් දෙදෙනාගේ මාපියන්ට ද දොස් අහන්න සිදුවී ඇතැයි ද වාර්තා වේ.

තමන් පාරේ යමින් සිටි විදේශිකයකුට වෙඩි තැබූ බවත් ඔහු තායිලන්තයේ රජ බව දැන නෙසිටි බවත් ගැටවරයන් දෙදෙනා පසුව පවසා තිබුණි.

(ද ගාඩියන් ඇසුරිනි)

 


RECOMMEND POSTS