ට්‍රම්ප් නමින් උභය ජීවියෙක්



පෙනුමින් ගැඩවිලකුට සමාන, නව උභය ජීවියකු පැනමාවෙන් පසුගිය දා හමුවිය. මේ උභය ජීවියාට ඇස් නැත. අන්ධය. පාද ද නැත. අනතුරක ඉව දැණුනු විට මේ උභය ජීවීයා වැලි අතරේ හිස සඟවා ගනී. සත්ව ලෝකයට අලුතින් එක් වුණු මෙම උභය ජීවියා නම් කෙරුණේ ගෝලීය උණුසුම සම්බන්ධයෙන් ලෝකයා දැනුවත් කරන, ගෝලීය උණුසුම අවම කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගන්නා ‘එන්වයරෝබිල්’ ආයතනය මැදිහත් වීමෙනි. උභය ජීවියා නම් කෙරුණේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිහිගන්වමින්, ‘ඩර්මෝෆිස් ඩොනල්ඞ්ට්‍රම්පී’ යනුවෙනි.

උභය ජීවියා, ජනාධිපති ට්‍රම්ප් සිහිගන්වමින්, ‘ඩර්මෝෆිස් ඩොනල්ඞ්ට්‍රම්පී’ යනුවෙන් නම් කිරීම සඳහා ‘එන්වයරෝබිල්’ ආයතනය නෛතික අවසර ලබා ගත්තේ ඇමෙරිකන් ඩොලර් 25,000 ක මුදලක් ගෙවීමෙනි. ඒ, සොයා ගත් නව ජීවීන්ට නම් තැබීම වෙනුවෙන් පැවැති වෙන්දේසියකදීය. ‘එන්වයරෝබිල්’ ආයතනය මැදිහත් වී, මේ උභය ජීවීයා ට්‍රම්ප්ගේ නමින් නම් කළේ හොඳ හේතුවක් ඇතිවය. ගෝලීය උණුසුම අවසම කිරීමටත්, වාතයට එක්වන විස වායු ප්‍රමාණය අඩු කිරීමටත් මුළු ලොවම එකමුතු වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට විරෝධය දක්වා ඇත.

ගෝලීය උණුසුම අවම කිරීම කෙරෙහි ප්‍රංශයේ පැරිස් නුවරදී ලෝකයේ ප්‍රබල රටවල නායකයක් එක් වී පොදු එකඟතාවක් ඇතිකර ගත්තත්, ට්‍රම්ප් ඊට විරෝධය දැක්වීය. ඔහු ගෝලීය උණුසුම ඉහළ යෑම කෙරෙහි ‘ඉවත බලා’ සිටී. අනතුරකදී හිස වැලි අතරේ සඟවා ගනිමින් සැඟවෙන මෙම උභය ජීවියා ට්‍රම්ප් සිහිගන්වන බවත්, එම නිසා උභය ජීවීයා ‘ඩර්මෝෆිස් ඩොනල්ඞ්ට්‍රම්පී’ යන නමින් නම් කිරීමට තමන් මැදිහත් වුණු බවත් ‘එන්වයරෝබිල්’ ආයතනය පැහැදිලි කරයි.

හමුවුණු නව සත්ව විශේෂ සඳහා නම් දැමීම වෙනුවෙන් වෙන්දිසිය සංවිධානය කළේ ‘රේන් ෆොරස්ට් ට්‍රස්ට්’ බි්‍රතාන්‍ය සංවිධානයයි. සෑම දිනකම ලෝකයේ වැසි වනාන්තර අක්කර 70,000 ක් මිනිසා විසින් කපා විනාශ කර දමනවා යැයි එම වෙන්දේසියේදී ‘රේන් ෆොරස්ට් ට්‍රස්ට්’ බි්‍රතාන්‍ය සංවිධානය වෙනුවෙන් ක්‍රිස් රෙඞ්ස්ටන් පෙන්වා දුන්නේය. ‘වැසි වනාන්තර මෙසේ විනාශ කිරීමෙන් සත්ව ලෝකයට බොහෝ සතුන් අහිමි වෙනවා. ඒ වගේමයි, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම තවත් උත්සන්න කිරීමට එය හේතුවක් වෙනවා. එය ගෝලීය වශයෙන් විපරිත කාළගුණ තත්ත්වයන් ඇති කිරීමට හේතුවක් වේවි.’ යැයි ක්‍රිස් රෙඞ්ස්ටන් පැහැදිලි කරයි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමිනි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාල පක්ෂ දෙකෙන් එකක් වන රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකි. ජනපති ධුරයට පත්වුණු අවස්ථාවේ පටන් ට්‍රම්ප් ගත් තීන්දු තීරණ ආන්දෝලනයට හේතුවක් විය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ මිතුදර් ඇරැඹීම, චීනය සමඟ වෙළෙඳ යුද්ධයකට මැදිවීම ආදිය එසේ ආන්දෝලනයට තුඩුදුන් හේතු කාරණාය.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් සතකු නම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. ට්‍රම්ප්ගේ කැපී පෙනෙන අංගයක් වන්නේ ඔහුගේ කොණ්ඩයයි. එය බොහෝ දෙනාගේ කතාබහට හේතුවක් වී ඇත. ඒ නිසාම, එම කොණ්ඩය සිහිගන්වන දළඹුවකු මෙක්සිකෝවෙන් මෙන්ම මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවෙන් හමුවීමත් සමඟ ඒ දළඹුවා ‘ඩොනල්ඞ් ට්‍රම්ප් දළඹුවා’ යනුවෙන් නම් කෙරුණි. මෙය සිදුවූයේ 2016 වසරේදීය. දළඹුවාගේ පෙනුම ට්‍රම්ප්ගේ තඹවන් කොණ්ඩයට බෙහෙවින් සමාන වෙයි. මේ අමුතු හැඩයේ දළඹුවා මුලින්ම ඡායාරූපයට නැගීමට සමත් වූයේ පේරු රටේ වැසි වනාන්තරයේ සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකි. ඔවුන් ජෙෆ් ක්‍රිමර් සහ පිල් ටෝරස්. ඩොනල්ඞ් ට්‍රම්ප් දළඹුවා යන නමින් හැඳින්වුවත්, මේ දළඹුවාගේ සත්ව විද්‍යාත්මක නාමය වන්නේ මෙගාලොපිස් ඔපර්කුලාරිස් ය.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS