ට්විටර් ගිණුම අක්‍රිය කළ කෙනාට තෑගි දෙන්න වටිනවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අක්‍රිය කළ පුද්ගලයාට ‘නොබෙල් සාම තෑග්ග දෙන්න වටිනවා’ යැයි ට්විටර් ඇතුළු සමාජ ජාල පරිශීලනය කරන බොහෝ දෙනාගේ අදහස වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

සෙසු ලෝක නායකයන් මෙන්ම ඩොනල්ඞ් ට්‍රම්ප් රිසි පරිදි දොස් නගමින් චෝසනා කිරීමට ට්වටර් භාවිතා කරයි. ට්‍රම්ප් සිය අදහස් නිදහසේ පළ කරන්නේ මෙම ගිණුම හරහාය.

පසුගිය සිකුරාදා දිනයේ ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම හිටිහැටියේ අතුරුදන් විය. ඒ, මිනිත්තු 11 ක කාලයක් සඳහාය. එසේ වූයේ එය බලා ගත් තාක්ෂණික ශිල්පියා එදා සිය කටයුතුවලින් සමුගත් නිසා බව පසුව සොයා බලද්දී අනාවරණය විය.

සමාජ ජාල ගිණුම් පරිශීලනය කරන ට්‍රම්ප් විරෝධීන් පෙන්වා දී ඇත්තේ, තොරතෝංචියක් නැතිව ට්‍රම්ප් පළ කරන සිය අදහස් මිනිත්තු 11 කට හෝ නැවැත්වීමට එම තැනැත්තාට හැකිවූ නිසා ඔහුට නොබෙල් සාම තෑග්ග ලබා දිය යුතු බවය.

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පරිශීලනය කරන පිරිස මිලියන 41.7 ට වැඩි යැයි පැවැසෙයි. එම අවස්ථාවේදී තම ගිණුම අක්‍රිය වූයේ ඇයිදැයි යන්න ඩොනල්ඞ් ට්‍රම්ප් පවා දැන නොසිටි බව ධවල මන්දිරය පවසා තිබේ.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS