ගීතය රූගත කරමින් ජීවිතයට සමුදුන් ගායකයෙක්



ගීතයක රූගත කිරීම් අතරතුර ජීවිතයට සමුදීමට සිදු වූ ගායකයෙකු පිළිබඳව පුවතක් කැනඩාවෙන් වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි ජොන් ජේම්ස් නමින් ප්‍රකට ජෝන් ජේම්ස් මැක්මරේ නැමැති කැනේඩියානු රැප් ගායකයාය.

ගීතයක රූගත කිරීම් අතරතුර සැහැල්ලු ගුවන් යානයක් මත ඇවිද යාමට උත්සහ කළ අවස්ථාවේ ගායකයා එම ගුවන් යානයෙන් වැටී මිය ගොස් ඇති අතර එම අනතුර සිදුව ඇත්තේ එරටබ්‍රිට්ෂ් කොලම්බියා ප්‍රෙද්ශයේදීය.

ජෝන් ජේම්ස් මැක්මරේ පියාසර කරමින් තිබූ ගුවන් යානයේ තටුවක් මත ඇවිද යාමට උත්සහ කළ අවස්ථාවේ එම ගුවන් යානය පාලනය කර ගැනීමට නියමුවා අසමත් වී ඇති බව සඳහන් වෙයි.

සිය පැරෂුටය විවෘත කර ගැනීමට ද මැක්මරේ අපොහොසත් වී ඇති අතර ඔහු දීර්ඝ වේලාවක් යානයේ එල්ලී සිටි බව ඔහුගේ කළමනාකරු පවසයි.මෙම අනතුර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පසුගිය සෙනසුරාදායි.

මැක්මරේගේ කළමනාකරු පැවසුවේ, "මෙම දර්ශනය සඳහා ඔහු ඉතා හොඳින් පුහුණුවක් ලැබූ" බවයි.රැප් ගායක ජෝන් ජේම්ස් සිය ගීතවල දර්ශන සඳහා කරන අනතුරුදායක රංගනයන් නිසා වඩාත් ජනප්‍රිය වී සිටියේය."The Man" නමැති ගීතය වෙනුවෙන් ඔහු වරක් පියාසර වෙමින් පැවති ගුවන් යානයකින් පිටතට පැන තිබුණි.

කැනඩාවේ කැල්ගරි ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) පිටුව සමග සම්බන්ධ වී සිටින රසිකයින් සංඛ්‍යාව 17,000කට අධිකයි.ඔහු එම සමාජ වෙබ් පිටුවෙහි සිය අනතුරුදායක රංගනයන් සහිත වීඩියෝ දර්ශන නිරන්තරයෙන් මුදා හැරීමට පුරුදුව සිටියේය.

ඔහුගේ කළමනාකරු ලෙස ක්‍රියා කළ රයන් ඩෙස්රෝෂර්ස් පැවසුවේ, ඔහු සිය ගීත නිර්මාණ සඳහා අනතුරුදායක ක්‍රීඩාවල නිරත වූ අතර ඒ තුළින් ඔහුගේ ගීත "නව මානයකට" ගෙන යාමට උත්සහ දැරූ බවයි.මැක්මරේ අනතුරින් ජීවිතක්ෂයට පත්වුවද, ගුවන් යානය යළිත් පාලනය කර නිරුපද්‍රිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවා සමත්ව තිබේ.

( තිළිණි ද සිල්වා)

කැනඩා පෝස්ට් ඇසුරෙනි.


RECOMMEND POSTS