ගල්වලින් පහර දෙන සැණකෙළිය



එකිනෙකා වෙත ගල් ප්‍රහාර එල්ල කරගනිමින් සිදුකෙරෙන විශේෂ සැණකෙලියක් පසුගියදා ඉන්දියාවේ දී පැවැත්විය.

කාලි දේවතාවිය සතුටු කිරීම උදෙසා පැවැති මේ සැණකෙලිය හිමාචල් ප්‍රාන්තයටම සුවිශේෂී බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

හිමාචල් ප්‍රාන්තයේ පැවැති මේ සැණකෙලිය අතරතුර එකිනෙකා වෙත ගල් ගසාගැනීම එහි තිබූ විශේෂත්වයයි.

ගෝත්‍ර කිහිපයකට අයත් බැතිමතුන් කණ්ඩායම්වලට බෙදී මෙලෙස එකිනෙකා වෙත ගල් ප්‍රහාර එල්ල කරගත්තේ නරඹන්නන් වෙත ලොමු දැහැ ගැන්වෙන අත්දැකීමක් එක්කරමින්.

මෙහිදී අනෙක් ගල් පහර ලබන්නන්ගේ සිරුරෙන් රුධිරය වෑහෙන අතර එම රුධිරය කාලි දේවතාවිය සතුටු කිරීමට සමත්වන බව බැතිමතුන් විශ්වාස කරයි.

සැණකෙලිය මඟින් නපුර පරදා යහපත ජයග්‍රහණය කරන ආකාරයද නිරූපණය කරන බවට වාර්තා වෙයි.

මෙම චාරිත්‍රය භයානක සහ වේදනාකාරී අත්දැකීමක් වුවත්, එය විශ්වාසය සහ ඇදහීම යන වැදගත් කරුණු වෙනුවෙන් පැවැත්වෙන ගෞරවනීය පූජෝත්සවයක් බව හිමාචල් හි වැඩිහිටියන් පෙන්වා දෙයි.

කාලි දේවතාවිය වෙනුවෙන් මෙවන් පුද සත්කාර පැවැත්වෙන්නේ අද ඊයේ සිට නොවෙයි.

සියවස් ගණනාවක් පැරැණි මේ චාරිත්‍රය හිමාචල් හි ධාමි ගම්මානය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙයි.

සෑම වසරකම දීපවාලි උත්සවයෙන් පසුදින මේ සැණකෙලිය වෙනුවෙන් වෙන්කෙරෙන්නේ ඒ අනුවයි.

අතීතයේදී කාලි දේවතාවිය වෙනුවෙන් බිලිපූජා පැවැත්වී ඇති අතර, ධාමි පලාතේ ජීවත්වූ ධාමි නැමැති රැජිනක විසින් එවන් බිලි පූජා නැවැත්වීම උදෙසා මේ සැණකෙලිය ආරම්භ කළ බව ඉතිහාස කතාවල සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් ඔෆ් ඉන්දියා


RECOMMEND POSTS