කැරට් 88 ක් බර දුර්ලභ දියමන්තියක් අලෙවි වෙයි



කැරට් 88ක බරකින් යුත් දුර්ලභ ගණයේ දියමන්තියක් සොදබිස් වෙන්දේසි සමාගම විසින් පසුගියදා අලෙවි කළේය.
ඒ අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටක මුදලකටය.

ඔපදැමීමට පෙර කැරට් 242ක් බරකින් යුක්ත වූ මෙම දියමන්තිය සොයාගෙන තිබුණේ බොට්ස්වානාහි පතලකිනි.

ලොව දියමන්ති සැපයුමෙන් සියයට හතළිහක් පමණ බොට්ස්වානා රාජ්‍යයෙන් සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
කපා ඔප දැමීමෙන් පසුව ඕවල් හැඩැති එම දියමන්තියේ බර සටහන් වුණේ කැරට් 88යි දශම දෙකයි දෙකක් ලෙසටය.

හොංකොංහි පිහිටි සොදබිස් ඒෂියා වෙන්දේසි සමාගම විසින් එය පසුගිය අඟහරුවාදා වෙන්දේසි කරනු ලැබුවේය.
ජපන් ජාතිකයෙකු වෙන්දේසි ගාස්තුද ඇතුළත්ව අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටකට දියමන්තිය මිලට ගෙන ඇති බව සඳහන්ය.

වෙන්දේසි සමාගම සාමාන්‍යයෙන් එහි ගනුදෙනුකරුවන් පිළිබඳව හෙලිදරව් නොකරන නමුත් මෙහිදී ගැනුම්කරු ජපන් ජාතිකයෙකු බව ප්‍රසිද්ධියට පත්කිරීමට අවසර ලබාගෙන තිබුණි.

දියමන්තිය ඉදිරියේදී එහි හිමිකරුවාගේ වැඩිමල් දියණියගෙන් නමින් නම් කිරීමට නියමිත බව සොදබිස් සමාගමේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි


RECOMMEND POSTS