කඹයකින් ගැටගහලා කළු ජාතිකයෙක් අරන් ගිහින්



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට අයත් ගැල්වෙස්ටන් දූපත් නගරයේ අසුපිට නැගුණු සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු කළු ජාතික තරුණයකු අත්අඩංගුවට ගෙන කඹයකින් අත් බැඳ රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට ඇමෙරිකාව කැලඹීමට සමත් වී ඇත.

අතීතයේ ඇමෙරිකාවේ අප්‍රිකන් ඇමෙරිකන් කළු ජාතික වහලුන් සහ ඔවුන්ට සිදුවුණු කුරිරු අසාධාරණකම් යළිත් සිහි ගැන්වීමට මෙම ඡායාරූපය සමත් වී ඇති බවත් මෙම සුළුකොට තැකිය නොහැකි බරපතල සිදුවීමක් බවත්, ඇමෙරිකානුවන් බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.
ඡායාරූපයේ සිටින කළු ජාතිකයා ඩොනල්ඞ් නීලි නමැත්තා බව මේ වනවිට තහවුරු වී ඇත.

පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා (3) අනවසරයෙන් නිවසකට ඇතුළුවීම හේතුවෙනි.

අසුපිට නැගි පොලිස් නිලධාරීන්, අත්අඩංගුවට ගත් ඩොනල්ඞ් නීලි පොලිසියට ගෙන ගොස් ඇත්තේ ගොපලු චිත්‍රපටයක මෙන් කඹයක එක් කෙළවරකින් ඔහුගේ අත් බැඳ අනෙක් කෙළවර අසුපිට සිටි පොලිස් නිලධාරියා අල්ලා ගනිමිනි. එසේ නොකර කළ යුතුව තිබුණේ ඩොනල්ඞ් නීලි පොලිස් රථයකින් රැගෙන යෑම කළ යුතුව තිබුණැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් අවධාරණය කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, ගැල්වෙස්ටන් නුවර පොලිස් නිලධාරීන් පමණක් නොව නගරාධිපති වර්නන් හේල් ද කනගාටුව ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බව ද වාර්තා වේ. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසා ඇත්තේ, මෙම සිදුවීම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වා පොලිස් නිලධාරීන්ට දඬුවම් කළ යුතු බවය.

ගැල්වෙස්ටන්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS