උදේ පක්ෂයෙන් ගිහින් සවස ආයේ ඇවිල්ලා



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයට සහාය දක්වන ‘පනෙමන්ගලාරු’ දේශපාලන කණ්ඩායමේ මන්ත්‍රීවරයකු උදෑසන පක්ෂයෙන් ඉල්ලා අස්වී, සවස යළි පක්ෂයට එක්වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

‘පනෙමන්ගලාරු’ දේශපාලන කණ්ඩායමෙන් ඉවත් වුණු මන්ත්‍රීවරයා, සුන්දරා දෙවින්ගාරා ය. ‘පනෙමන්ගලාරු’ දේශපාලන කණ්ඩායමේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ද මොහුය.

පසුගිය දා මොහු ඉල්ලා අස්වීම බාර දී, භාරතීය ජනතා පක්ෂය සමඟ අත්වැල් බැඳගත්තේ මැන්ගලූරු පැවැති ජනතා පක්ෂ දේශපාලන රැලියකදීය.

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින්, කර්ණාටක මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ භාරතීය ජනතා පක්ෂ නායක රාජේෂ් නායික්ය. තමන් සමඟ එක් වුණු සුන්දරා දෙවින්ගාරා ඉතා උණුසුම් ලෙස පිළිැනීමට හෙතෙම කටයුතු කළේය.

කෙසේ නමුත් සවස් වෙද්දී සුන්දරා දෙවින්ගාරාගේ තීරණය වෙනස් විය. ඒ, කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ කළ සාකච්ඡා කිහිපයකට පසුවය.

මැන්ගලූරු නුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින් කොංග්‍රස් පක්ෂ රැලියක් පැවැත්වුණු අතර දෙවින්ගාරා ඊට එක් වෙමින් වේදිකාවට ගොඩ වූයේ යළි කොංග්‍රස් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගනිමිනි.

ආසන 225 කින් සමන්විත ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණය ලබන මැයි 12 වැනිදා පැවැත්වීමට නියමිතය. ඓහයින් දේශපාලනඥයන් වැඩි වාසි අපේක්ෂාවෙන් පක්ෂ අතරේ ‘පැනීම’ සාමාන්‍ය දෙයක් බව ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS