ඉන්දුනීසියානුවන් බය කරන්න හොල්මන්



‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ නිරෝධායනයට ලක් කළ ඉන්දුනීසියාවේ ජාවා දූපතේ කුඩා ගම්මානයක ගැමියන්, රාත්‍රියේ නිවෙස්වලින් පිටතට නොවන බවත්, ඔවුන් හොල්මන් අවතාරවලට බියක් දක්වන බවත් වාර්තා වේ.

හොල්මන් අවතාරවලට බිය වී රාත්‍රියේ නිවෙස් තුළට වී සිටින්නේ ජාවා දූපතේ ‘කෙපූහ්’ නමැති කුඩා ගම්මානයේ ගැමියන්ය. ‘කෙපූහ්’ නොදියුණු සාම්ප්‍රදායික කුඩා ගම්මානයක් වන අතර, නිරෝධායනය යනු කුමක්දැයි ඔවුන්ට ඒත්තු ගැන්වීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇත.

දහවල් කාලයේ දී පොලිසිය මැදිහත් වී නිවසේවලින් පිටතට පැමිණෙන අය යළි නිවෙස්වලට හරවා යැවීම සිදු කළත්, රාත්‍රියේ පොලිසියට හොරා ගම්වැසියන් ඇවිදීමට පටන්ගෙන ඇත.
‘කෙපූහ්’ ගැමියන් හොල්මන් අවතාරවලට බියක් දක්වන බැවින්, පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් එක් වී, සුදු රෙදි පොරවා ගෙන දින කීපයක් රාත්‍රියේ ගම්මානයේ සැරිසරන්න පටන් ගෙන ඇත.

පොලිසියට හොරෙන් නිවෙස්වලින් පිටතට ආ ගැමියන් කිහිප දෙනකු මහත් සේ බියට පත් වී ඇති අතර, අද වනවිට ගම්මානයේ කිසිවකු රාත්‍රී කාලයේ තම නිවෙස්වලින් බැහැර නොයන බව පැවැසෙයි.

‘අපට වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මේ ගැමියෝ නූගත්. පාසල් අධ්‍යාපනයක් ලැබුණු අය නොවෙයි. කොරෝනා වයිරසය ගැනවත් නිරෝධායනය ගැනවත් ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒ ගැන අපට කියා දෙන්න විදියක් නැහැ. දිවා කාලයේ බලෙන් නිවෙස්වල රැඳවුවත් රාත්‍රියේ ගම්මානයේ රවුම් ගහන අය ඉන්නවා. ගම්වැසියන් මිත්‍යා විශ්වාස අදහනවා. ඔවුන් හොල්මන්වලට බයයි. ඒ නිසා අපි හොල්මන් ලෙස සැරැසිලා ඔවුන් බය කළා. අපේ මෙහෙයුම සාර්ථකයි’ යැයි පොලිසිය පැහැදිලි කර තිබේ.

ඉන්දුනීසියාවෙන් මේ වනවිට ‘කොවිඞ් 19’ ආසාදිතයන් 5,000 කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇති අතර, මරණ සංඛ්‍යාව 400 කට ආසන්න යැයි පැවැසෙයි.

කෙපූහ් (රොයිටර්)


RECOMMEND POSTS