ඇමෙරිකන් යුද නැවක් ට්‍රම්ප්ගෙන් හංගන්න හදලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පසුගිය දා ජපානයේ නිල සංචාරයක යෙදුණු අවස්ථාවේ, ජපානයේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැවක්, ජනපති ට්‍රම්ප්ගෙන් සැඟවීමට උත්සහ කළේ යැයි ධවල මන්දිර කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වී ඇත.

ට්‍රම්ප්ගෙන් සැඟවීමට උත්සාහ ගෙන ඇතැයි පැවැසෙන්නේ ‘යූඑස්එස් ජෝන් මැකේන්’ යන නමින් නම් කළ යුද නැවය. ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම ජෝන් මැකේන් නැව සහ එහි කාර්ය මණ්ඩලය සහ නාවික භටයන් ජපානයේ රඳවා තබා ඇත.

ජෝන් මැකේන් ඇරිසෝනා ජනපදන නියෝජනය කළ ඇමෙරිකන් සෙනෙට් මණ්ඩල සාමාජිකයාය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පරිනත දේශපාලනඥයෙකි. 2008 වසරේ ඇමෙරිකන් ජනාධිපති ධුර වෙනුවෙන් තරග වැදුණේය. කෙසේ නමුත් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමාට පරාජය විය. පසුගිය 2018 වසරේ අගෝස්තු 25 වැනිදා ඔහු මියගියේය.

ජනාධිපති ට්‍රම්ප් සහ ජෝන් මැකේන් අතරේ මත ගැටුම් පැවැතිණි. මත ගැටුම් හේතුවෙන් දෙදෙනා අතර ඇයිහොඳයිකම් පැවැතියේ ද නැත. ජෝන් මැකේන් වියට්නාම යුද්ධයට සම්බන්ධ වුණු ප්‍රහාරක නියමුවෙකි. යුද නැව ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඔහුට ගෞරව කිරීමක් ලෙසය.

ජපාන සංචාරයට ගිය ජනපති ට්‍රම්ප්, ජපානයේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැව්වලට ගොඩ වී නාවික හමුදා නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් හමුවී සුවදුක් විමසා බැලීමක් කළේය.

ට්‍රම්ප්, ජෝන් මැකේන්ට දැක්වූ අකමැත්ත සහ විරෝධය හේතුවෙන්, ට්‍රම්ප් පැමිණෙද්දී ‘යූඑස්එස් ජෝන් මැකේන්’ යුද නැව ට්‍රම්ප්ගෙන් වසං කර තැබීමට ධවල මන්දිරය නාවික හමුදාවෙන් ඉල්ලා ඇත. කෙසේ නමුත් ඇමෙරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂැනන් ධවල මන්දිරය කළ එම ඉල්ලීමට විරෝධය දක්වා එය ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු මාධ්‍ය වෙත අනාවරණය වෙද්දී ජනපති ට්‍රම්ප් කියා සිටියේ, නාවික හමුදාවට අයත් යුද නැව්, කාගේ නමින් නම් කර තිබුණත් එය තමන්ට ගැටලුවක් නොවන බවය. කෙසේ නමුත් නාවික හමුදා සොල්දාදුවන් හමුවට ගිය අවස්ථාවේදී, ජනපති ට්‍රම්ප් මීටර් 154 ක් දිග අති දැවැන්ත ‘යූඑස්එස් ජෝන් මැකේන්’ යුද නැවට නොගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS