ඇටකාමා පිටසක්වළයාගේ අබිරහස



ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ, ඇටකාමා කාන්තාරය ආශ්‍රිතව පිහිටා ඇති ලා නොරියා නගරය අසල පතලක කැණීම් කරද්දී හමුවුණු, පිටසක්වළ ජීවී කුරුමිට්ටකුගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය කුඩා ඇටසැකිල්ල පිටසක්වළ ජීවියකුගේ නොවන බව තහවුරු කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.

පතලේ කැණීම් කරද්දී හමුවුණු මෙම අසාමාන්‍ය ඇටසැකිල්ල ‘ඇටා’ යනුවෙන් නම් කෙරුණි.

ඇටසැකිල්ල ඇත්තේ ස්පාඤ්ඤයේ පෞද්ගලික ව්‍යාපාරිකයකු සතුවය. විද්‍යාඥයන් එම ව්‍යාපාරිකයාගේ අවසරය පරිදි ඇටසැකිල්ල ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කළ බව ද පැවැසෙයි.

මෙම ආසාමාන්‍ය ඇටසැකිල්ලේ ප්‍රමාණය අඟල් 6 කි. කවුරුත් මවිතයට පත් කළ කාරණාව වී තිබුනේනේ මෙම ජීවියාගේ ඉළ ඇට කොටස් 10 ක් පිහිටා තිබීමය. මනුෂ්‍යයන්ට ඉළ ඇට කොටස් 12 ක් ඇත.

ඇටසැකිල්ල පිටසක්වළ කුරුමිට්ටකුගේ යැයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ අසාමාන්‍ය ඉලඇට පිහිටීම සහ අසාමාන්‍ය පෙනුම නිසාය.

නවීන තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ මෙම අසාමාන්‍ය සිරුර පිටසක්වළයකුගේ නොව මනුෂ්‍ය බිළිඳකුගේ බවය.

මේ බිළිඳා ජාන විකෘතියකට ලක් වී සිටි අයකු බවත් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ‘ජිනෝම් රීසර්ච්’ නමැති විද්‍යා සඟරාවේ පළ කර ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS