ආගමික ශාස්තෘවරයාගේ සිරුර ශීතකරණයේ



දිවියෙන් සමුගත් සිය හින්දු ආධ්‍යාත්මික නායක පූජකවරයකුගේ (Guru) මෘතදේහය ශීතකරණයක තැන්පත් කර තබා ගැනීම සඳහා ඉන්දියානු උසාවියකින් ඔහුගේ අනුගාමිකයන්ට අවසර ලැබුණි.

ඔහු "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan ) නම් ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා වියඅශුතෝෂ් මහාරාජ් (Ashutosh Maharaj ) නම් එම සාධුවරයාගේ සිරුර 2014 වසරේ අජීවී තත්වයකට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයෝ සිය ආගමික නායකයාගේ දේහය පසුගිය වසර තුනක කාලය තුළ පංජාබයේ පිහිටි ඔවුන්ගේ විශාල ආශ්‍රමයේ ශීතකරණයක හොවා රැක බලා ගනිති.

2014 වසරේ සාධුවරයා දිවියෙන් සමුගත් නමුත්, එතුමා මියගිය බව පිළිනොගන්නා ඔහුගේ අනුගාමිකයෝ සිය නායකයා ගැඹුරු භාවනාවකට සමවැද සිටින බව කියා සිටිමින් එම සිරුර ආදාහනය කිරීමට ඉඩ නොදෙති.භාවනාවෙන් මිදුන සැණින් සාධුවරයා යළි නැගී සිටිනු ඇතැයි පවසන එම අනුගාමිකයෝ සිය නායකයාගේ සිරුර වෙළෙඳසැල්හි ආහාර ද්‍රව්‍ය තබන ආකාරයේ විශාල දිග ශීතකරණයක තැන්පත් කරනු ලැබ ඇත.

එම සිරුර සම්බන්ධයෙන් ගතයුතු ඊළඟ පියවර සම්බන්ධයෙන් සාධුවරයාගේ අනුගාමිකයන් සහ ඔහුගේ පුත්‍රයා ලෙස පෙනී සිටින දලිප් කුමාර් ජා (Dalip Kumar Jha) නම් පුද්ගලයකු අතර වසර තුනක කාලයක් දිග්ගැසුන නෛතික අරගලයක් පැවතුණ අතර සිය පියාගේ දේහය හින්දු චාරිත්‍ර විධි අනුව ආදාහනය කළ යුතු බව දලිප් කුමාර් කියා සිටියි.

සිය පියාගේ දේහය ආදාහනය කිරීමට අවසර දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.එහෙත් සාධුවරයාගේ අනුගාමිකයෝ ඊට එරෙහි වූහ.එම ආරවුල විභාග කළ පංජාබ් සහ හර්යානා මහාධිකරණය දලිප් කුමාර් ජා විසින් කරන ලද ඉල්ලීම බැහැර කර ඇත.

ඉන්දියාවේ පමණක් නොව ඉතා කෙටි කාලයක් ඇතුළත යුරෝපය,මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව,දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව ලොවපුරා විහිදුණ එම සංවිධානය සතු ආර්ථික ශක්තිය ඩොලර් කෝටි දොළහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

පංජාබයේ පිහිටි අක්කර සීයකින් යුක්ත මහා මූල්‍ය වත්කමක් සහිත එහි ප්‍රධාන ආශ්‍රමය අධි ආරක්ෂක රැකවල් සහිතව පවත්වා ගෙන යන අතර තම පියාගේ දේහය ආදාහනය නොකර තබා ගන්නේ එම වත්කම් නිසා යයි සාධුවරයාගේ පුත්‍රයා අනුගාමිකයන්ට චෝදනා කරයි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS