පිටසක්වළින් ‘හලෝ’ කියලා



ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ, පසුගියදා හරි අපූරු ‘පෝස්ටුවක්’ පළ විය. ‘පිටසක්වළින් හලෝ කියලා’ යැයි එහි සඳහන් විය.

කොරෝනා ජරමර අස්සේ, පිටසක්වළයෝ අප පෘථිවිය ගැන ඇස ගසා සිටිනවා නම්, එය මනුෂ්‍ය අපට තවත් ව්‍යසනයක් වේවි යැයි යන අදහසින්, උපහාසයෙන් යුතුව, එම පෝස්ටුවට පිළිතුරු රැසක් ද පළ විය. ‘මේ වෙලාවේ පිටසක්වළ ආක්‍රමණයකට මුහුණ දෙන්න බෑ, වැරදි අංකයක් කියමින් හලෝ ඇමතුම විසංධි කරන්න’ යැයි එක් පිළිතුරු පෝස්ටුවක සඳහන් විය.

ඇත්තටම සිදුවූයේ කුමක්ද? පිටසක්වළ ජීවීන්ගෙන් පෘථිවියට පණිවුඩවක් ලැබුණාද? එසේ නම් පිටසක්වළ ජීවීන් ඇත්තටම සිටිනවාද?

මේ සම්බන්ධයෙන් විමසා බලද්දී කරුණු කාරණා පැහැදිලි විය. ‘හලෝ’ යැයි කීවත්, පෘථිවියට ලැබී ඇත්තේ කෙටි ගුවන් විදුලි සංඥාවකි. එය හලෝ කීමක් නොව, විශ්වයෙන් නිරන්තරයෙන් ලැබෙන සංඥා අතරින් තවත් එකකි. මෙවැනි ගුවන් විදුලි තරංග අරුමයක් නොවේ.

විශ්වයෙන් ලැබෙන ගුවන් විදුලි තරංග හසු කර ගැනීම සිදු කරන්නේ පෘථිවියේ රට රටවල් බොහොමයක ස්ථාපිත කර ඇති ගුවන් විදුලි දුරේක්ෂ ආධාරයෙනි. මෙම නවතම සංඥාව හසු කර ගැනීමට සමත් වී ඇත්තේ නෙදර්ලන්ත තාරකා විද්‍යාඥයන් කණ්ඩායමකි. ඒ, නෙදර්ලන්තයේ වෙස්ටර්බොක් ගුවන් විදුලි දුරේක්ෂයේ ආධාරයෙනි.

මෙය බුද්ධිමත් පිටසක්වළ ජීවීන්ගෙන් ලැබෙන සංඥාවක් නොවෙයි. සංඥාව නිකුත් කරන්නේ ‘මැග්නෙටාර්’ යනුවෙන් හැඳින්වෙන නියුට්‍රෝන තරුවකිනි. නියුට්‍රෝන තරු යනු ගුරුත්ව බලවේග විසින් දැඩිව සම්පීඩනයට පත් කළ තරුවක පරිණාම ක්‍රියාවලියේ අවසාන අදියරේ පවතිව තරුයකි.

ආලෝක වර්ෂ 32,616 ක් දුරින් මෙම තරුව පිහිටා ඇත්තේ අප මන්දාණිය එසේත් නැතිනම් ක්ෂීරපථය තුළය. (අභ්‍යවකාශයේ දුර මැනීම සිදු කරන්නේ ආලෝක වර්ෂවලිනි.) ‘මැග්නෙටාර්’ තත්පර 1.4 කට වරක් මිලි තත්පරයක් එක දිගට සංඥා නිකුත් කරයි. ඒ අනුව, දිගින් දිගටම පිටපිට ලැබෙන්නේ එකම සංඥාවකි.        

ඒ අනුව ‘හලෝ’ කීවේ පිටසක්වළ ජීවීන් නොවන බව පැහැදිලිය. ඒ නිසා බිය විය යුතු නොවෙයි. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මෙසේ පවසා තිබේ. ‘පරක් තෙරක් නොපෙනන මේ මහා විශ්වයේ මනුෂ්‍ය අප සිටින්නේ තනිවමයි. එසේත් නැතිනම් තනිවම නොවෙයි. මේ සිතුවිලි දෙකම එක හා සමානව බියජනකයි නේද?’

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS