පරිවර්තන දෝෂයක් නිසා චීන ජනපතිට අපහාසයක්



මියන්මාරය අතීතයේ හැඳින්වූයේ බුරුමය ලෙසිනි. ඇමෙරිකාව තවමත් මියන්මාරය නිල වශයෙන් හඳුන්වන්නේ ද බුරුමය ලෙසිනි. බුරුම වැසියන්ගේ භාෂාව බුරුමය.

ෆේස්බුක් ජාලයේ පරිවර්තන වැඩසටහනක් මගින් බුරුම වදනක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ දී සිදුවුණු ජංජාලයක් ගැනයි මේ. සිදුවූයේ ලොකු වරදකි. එය ලෝක යුද්ධයක් තෙක් දුරදිග යෑමට පවා ඉඩ තිබුණි. වාසනාවකට එසේ වූයේ නැත.

මියන්මාරයේ (බුරුමයේ) රකීන් පළාතේ ජීවත් වන, රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලන, රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සුළුජාතිකයන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ඇතුළු මියන්මාර හමුදාව දෙස බටහිර රටවල් බලන්නේ වපර ඇසිනි.

චීනය සහ මියන්මාරය අතර පවතින්නේ යහපත් සම්බන්ධයකි. පසුගිය දා චීන ජනාධිපති, මියන්මාරයට ගොස් නායිකා අවුන් සාන් සූ කී හමුවිය. ඒ, එක් මාවතක් එක් තීරයක් ආර්ථික වැඩපිළිවෙළට මියන්මාරය හවුල් කර ගනිමිනි. මෙය ඓතිහාසික සිදුවීමක් ලෙස සැලකිණි.

චීන ජනපතිගේ නම ෂී ජින්පින් ය. මියන්මාරයට පැමිණි ජනපති ෂී සම්බන්ධයෙන් පුවත් වාර්තා බුරුම බසින් පළවිය. මියන්මාර මාධ්‍යවල  ‘ෂී’ යන වදනද බුරුම බසින් සටහන් විය. බුරුම බසින් ‘ෂී’ යන වදනට ඇති අර්ථය ඉංග්‍රීසියට පරිවර්තනය වන්නේ කුණුහරුපයක් ලෙසිනි. එය ‘ෂිට්හෝල්’ ය. ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයට අනුව, ‘ෂිට්හෝල්’ යනු ඉතා අපිරිසුදු, අප්‍රසන්න ස්ථානයකටය. පිළිකුල් අප්‍රසන්න පුද්ගලයකුට පරිභව කිරීමේ දී  ද ‘ෂිට්හෝල්’ යන වදන භාවිතයට ගැනෙයි.

බුරුම බසින් පළවූ පුවත්වල චීන ජනපති ෂීගේ නම ෆේස්බුක් හරහා ඉංග්‍රීසියට පරිවර්තය වී පළ වූයේ ‘මිස්ටර් ෂිට්හෝල්’ යනුවෙනි. ඒ, මියන්මාර නායිකා අවුන් සාන් සූ කී ගේ නිල ෆේස්බුක් පිටුවේවීම ද විශේෂත්වයකි.

මෙය චීන ජනාධිපතිවරයාට බරපතල අපහාසයක් විය. තම ඉංග්‍රීසි පරිවර්තනය හරහා ලොකු වරදක් සිදුවුණු බව වැටහුණු සැණින් එය නිවැරදි කිරීමටත් චීන ජනපති ෂී ජින්පින්ගෙන් සමාව ඉල්ලීමටත් ෆේස්බුක් සමාගම කඩිනමින් පියවර ගත්තේය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS