දකුණු අප්‍රිකා ජනාධිපතිගේ දුම්රිය ප්‍රමාද වෙලා



මැතිවරණ රැළියකට ගොස් ආපසු පැමිණෙද්දී, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, පැය කීපයක් මගී දුම්රියක කොටුවුණු බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කළේය.

දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන්, ජනපති රැම්පෝසා සිය පක්ෂ නියෝජිතයන් සහ ආධාරකරුවන් ද පිරිවරා ගනිමින්, නගරයෙන් නගරයට යමින් ජනතාව අතරේ ගැවසෙයි.

ජනපති රැම්පෝසා ඇතුළු පිරිස මබෝපේන් නගරයේ ජන රැළියකට සහභාගී වී ආපසු ප්‍රිටෝරියා අගනුවර බලා පැමිණීමට මගී දුම්රියක් තේරා ගත්තේය. මගීන් පිරි මැදිරයකට ජනාධිපතිවරයා ද ගොඩවී ඔවුන් සමඟ කතාබහ කරමින් ගමන ආරම්භ කර ඇත.
දුම්රිය නියමිත වේලාවට ධාවනය වූයේ නම් ගමනට ගතවන්නේ විනාඩි 45 කි. කෙසේ නමුත් ප්‍රමාද වී පැමිණි දුම්රිය අතර මඟ නතර විය. ගමන අවසන් වීමට පැය තුනකින් ප්‍රමාද විය.

දකුණු අප්‍රිකාවේ දුම්රිය මගීන් දිනපතා දුම්රිය ප්‍රමාදවීම් නිසා පීඩාවට පත් වන බවත්, දකුණු අප්‍රිකා ජනාධිපතිට දුම්රිය මගීන්ගේ දුක් ගැහැට තේරුම් ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වූ බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කළේය.

ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS