කොරෝනා පැතිරෙද්දී වූහාන් ගිය ටින්ටින්



ලොව ලොකු කුඩා කවුරුත් හොඳින් දන්නා හඳුනන මාධ්‍යවේදියකු වන්නේ ටින්ටින් ය. ටින්ටින්ගේ වික්‍රම ඇතුළත් චිත්‍රකතා නිර්මාණය කළේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී ය. ඒ, ‘හර්ජ්’ යන නාමයෙනි. 20 වැනි සියවසේ විශිෂ්ටතම කාටූන් ශිල්පියකු ලෙස ජෝර්ජ් රෙමී සැලකෙයි.

මුල්ම ටින්ටින් වික්‍රමය එළිදැක්වීම සිදුවූයේ 1929 වසරේ, බෙල්ජියම් පුවත්පතක චිත්‍රකතා තීරුවක් ලෙසය. ජනප්‍රිය වීමෙන් පසු ටින්ටින්, බලු සුරතලා ස්නෝව් සහ යහළුවන්ගේ වික්‍රම ඇතුළත් චිත්‍රකතා පොත් 24 ක් එළිදක්විණි. එම ටින්ටින් වික්‍රම භාෂා 70 කට පරිවර්තනය වී ඇති අතර අලෙවි වී ඇති පිටපත් සංඛ්‍යාව මිලියන 200 කට වැඩිය. ටින්ටින් සහ මිතුරන් සඳට ගිය වික්‍රමයක් ද ඇත. ඒ, සැබෑ සඳ ගමනට වසර ගණනාවකට පෙරය.

ටින්ටින් චිත්‍රකතා පොත් 24 ට අමතරව වෙනත් ටින්ටින් වික්‍රම ඇතුළත් පොත් පළ වී නැත. ටින්ටින් ලොව රටවල් රැසක සංචාරය කළ මාධ්‍යවේදියෙකි. එහෙයින්, කාලීන ලෝක සිදුවීම් මුල්කොට ගනිමින් ටින්ටින්ගේ වික්‍රම ලෙස පොත් කවර පමණක් එළිදැක්වෙයි. ඒ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේය.

මේ කවර නිර්මාණය කරන්නේ විවිධ සමාජ ක්‍රියාකාරීන්ය. අයි.එස්. ත්‍රස්ත සංවිධානය ලොව බලවත් වී, අල්ලා ගන්නා සිරකරුවන්ගේ බෙලි කපද්දී, ‘ටින්ටින් ඉරාකයේ’ යන නමින් පොත් කවරයක් ප්‍රසිද්ධ විය. ඒ, ටින්ටින් අයි.එස්. අලුගෝසුවකුගේ ගොදුරක් වී සිටින අයුරු පෙන්වමිනි.

අද වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වෙමින් ලක්ෂයකට වැඩි පිරිසක් රෝගීන් කළ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මුල්කොට ගනිමින් ද ටින්ටින් කවර දෙකක් නිර්මාණය වී ඇත. එම කවර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. කවර ප්‍රසිද්ධියට පත් වූයේ ‘ටින්ටින් සහ කොරෝනා වයිරස්’ යනුවෙන් සහ ‘වූහාන් නුවරට ගිය ටින්ටින්’ ලෙසය.

සමාජ මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS