කොරෝනා ආශිර්වාදයක් වූ යුවල



‘අලූත් වැඩක් පටන් ගන්න  ඕනෑ’ යැයි කියමින්, ඇන්ඩෘ (47) සහ රේචල් මොන්ටීග් (48) නමැති බි‍්‍රතාන්‍ය ජාතික අඹු සැමි යුවල නව ව්‍යාපාරයක් ඇරැඹුවේ, කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ බලපෑම යුරෝපයට හෝ මහා බි‍්‍රතාන්‍යයට එල්ල වීමට පෙර පසුගිය මාර්තුවේ ය.

නව ව්‍යාපාරය අරඹා දින සති 12 ක් ගතවීමටත් පෙර අද මෙම යුවල කෝටිපතියන් වූ බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නව ව්‍යාපාරයෙන් මෙම යුවල ලැබූ ආදායම පවුම් මිලියන 30 කට වඩා වැඩි යැයි ද පැවැසෙයි.

ඇන්ඩෘ සහ රේචල්, ඔවුන්ගේ නව ව්‍යාපාරය අරඹද්දී, ඥාතීන්ගෙන් සහ මිතුරන්ගෙන් නොයෙක් නොයෙක් අදහස් එල්ල විය. ‘ඔය වැඬේ හරියන්නේ නැහැ. ඔයාලට පාඩු ලබන්න තමයි වෙන්නේ. යොදවන මුදලත් අපරාදේ’ යැයි පවුගට හිතවත් බොහෝ දෙනකුගේ අදහස විය.

ඒත්, ඇන්ඩෘ හෝ රේචල් හෝ ඔවුන්ගේ අදහස වෙනස් කළේ නැත. බි‍්‍රතාන්‍ය වැසියන් වෙනුවෙන් උසස් ප‍්‍රමිතියෙන් යුතු බි‍්‍රතාන්‍ය නව නිෂ්පාදනයක් එළිදැක්වීම යුවලගේ අරමුණ විය. ඇන්ඩෘ හෝ රේචල් ආරම්භ කළේ ‘හෑන්ඞ් සැනිටයිසර්’ එසේත් නැතිනම් අත් පිරිසුදු කිරීමේ දියර නිෂ්පාදනයයි. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇන්ඩෘ සහ රේචල් ආශිර්වාදයක් වූ අතර, ඔවුන්ගේ අලූත් නිෂ්පාදනය අද බි‍්‍රතාන්‍ය වැසියන් බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා නිෂ්පාදනයක් වී අවසන්ය.

ඇන්ඩෘ සහ රේචල්ගේ අත් සේදුම් දියර නම් කර ඇත්තේ ‘ක්ලියර් වෝටර් හයිජීන්’ යනුවෙනි. අද මහා බි‍්‍රතාන්‍යයේ සෞඛ්‍ය සේවකයන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා අත් පිරිසුදුව තබා ගැනීමට ‘ක්ලියර් වෝටර් හයිජීන්’ දියර බෝතල් භාවිතයට ගන්නේ එහි අඩු මිල නිසාත්, එය දේශීය නිෂ්පාදනයක් වීමත් සැලකිල්ලට ගනිමිනි.

අද වනවිට සෞඛ්‍ය අංශ උපදෙස් මත පැනැවූ තහංචි ලිහිල් වී ඇති අවස්ථාවක ‘ක්ලියර් වෝටර් හයිජීන්’ නිෂ්පාදන බි‍්‍රතාන්‍ය වැසියන්ගේ ජීවිත හා බැඳී ඇත්තේ හරි අපූරු ආකාරයකට යැයි පැවැසෙයි.

‘කොවිඞ් 19’ වසංගතය හමුවේ මුදල් ඉපැයීමට හොඳ අවස්ථාවක් උදා වුවත්, ඇන්ඩෘ සහ රේචල් යුවල එසේ නොකළ අතර අත් සේදුම් දියරවල මිල කිසිසේත් වැඩි කළේ ද නැත. ‘මේක දේශීය නිෂ්පාදනයක්. පුංචි ව්‍යාපාරයක්. ඒත් දැන් නම් පුංචි ව්‍යාපාරයක් නොවෙයි. වෙළෙඳපොළේ මිල අඩු සහ ගුණාත්මය වැඩි අත් සේදුම් නිෂ්පාදන එළිදක්වන්නේ අපේ ‘ක්ලියර් වෝටර් හයිජීන්’ සමාගම තමයි. ආරම්භයේදී අප අභියෝග රැුසකට මුහුණ දුන්නා. අපේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් තිබුණේ නැහැ. ආනයනය කළ නිෂ්පාදවලට ප‍්‍රමුඛත්වය හිමිවුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. කොරෝනා සියල්ල වෙනස් කළා’ යැයි ඇන්ඩෘ පැහැදිලි කර තිබේ.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS