අඟහරුටත් ජාතික ගීයක්



ඔස්කාර් කැස්ටෙලීනෝ උපතින් ඉන්දියානුවෙකි. අද එක්සත් රාජධානියේ, එසේත් නැතිනම් මහා බ්‍රිතාන්‍ය වැසියෙකි. අඟහරු ග්‍රහයා වෙනුවෙන් පළමුවෙන්ම ‘අඟහරු ජාතික ගීතය’ නිර්මාණය කළේ ඔහුය.

ඔස්කාර් කැස්ටෙලීනෝ උපත ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර වීදියක මෝටර් රථයක් තුළය. හොඳ අධ්‍යාපනයක් ලැබූ ඔහු බොහෝ ඉන්දියානු තරුණ තරුණියන් මෙන්, පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවකු ලෙස රැකියාවට පිවිසුණේය.

කෙසේ නමුත්, වයස අවුරුදු 24 දී, තමන්ට ඔපෙරා ගායකයකුට තිබිය යුතු ශක්තිමත් තියුණු හඬක් ඇති බව කැස්ටෙලීනෝට අවබෝධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස කැස්ටෙලීනෝ අද ලොව අංක එකේ ඔපෙරා (ගීත නාට්‍ය) තරුව බවට පත් වී අවසන්ය.

2012 වසරේ දී දෙවැනි එලිසබත් මහ රැජිනයේ දියමන්ති ජුබිලිය සැමරුමේදී, උස් හඬින් ගී ගැයුවේ ද කැස්ටෙලීනෝ ය. මහ රැජිනගේ පවා පැසැසුමට කැස්ටෙලීනෝ පාත්‍රවිය.
අද වනවිට කැස්ටෙලීනෝ ගීත රචකයකු ලෙස බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත් වී අවසන්ය. මේ නිසාම පසුගිය දා බි්‍රතාන්‍ය අඟහරු සන්සදයෙන් ඔහුට විශේෂ ඇරැයුමක් ලැබුණි.

ඒ, අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙනුවෙන් ‘ජාතික ගීයක්’ නිර්මාණය කර දෙන ලෙසටය. ඒ අනුව ඔස්කාර් කැස්ටෙලීනෝ අඟහරු වෙනුවෙන් එම ‘අඟහරු ගීතය’ නිර්මාණය කළේය.
‘අනාගතයේ දිනෙක කවදා හරි අප අඟහරු තරණය කරාවි. අඟහරු මත පදිංචියටත් යාවි. එදාට මගේ ගීතය අඟහරු ජාතික ගීතය ලෙස භාවිතයට ගැනෙනු ඇත. මා මෙම ගීතය නිර්මාණය කළේත් සංගීතවත් කළේත්, ඔස්කාර් කැස්ටෙලීනෝ ලෙස නොවෙයි. පෘථිවි වැසියකු ලෙසයි.’ යැයි ඔස්කාර් කැස්ටෙලීනෝ බීබීසී. නාළිකාවට අදහස් දක්වමින් පවසා ඇත.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS