‘ඔපර්චුනිටි’ යානයේ අඟහරු මෙහෙයුම් අවසන්



අඟහරු ගවේෂණයට යැවූ ‘ඔපර්චුනිටි’ රොබෝ රෝවර් යානයේ මෙහෙයුම් කටයුතු අවසන් බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිවේදනය කළේය.

අඟහරු හෙවත් රතු ග්‍රහයා මතුපිට එහෙමෙහෙ යමින්, පස් සාම්පල සහ ඡායාරූප ලබා ගනිමින්, වසර 12 ක් පුරා අඟහරුගේ රහස් අනාවරණය කර දුන්නේ ‘ඔපර්චුනිටි’ යානයයි.

අද නිසරු ලොවක් වුවත්, වසර දහස් ගණනකට පෙර අතීතයේ අඟහරු මතුපිට දිය පහරවල් තිබුණු බවට සාක්ෂි සොයා දුන්නේ ද ‘ඔපර්චුනිටි’ යානයයි. ‘ඔපර්චුනිටි’ යානය අඟහරු මතුපිට ලබා ගත් ඡායාරූප 2,17,594 ක් පෘථිවියට ලැබෙන්න සලස්වා ඇතැයි ද නාසා කියයි. නාසා ආයතනය ‘ඔපර්චුනිටි’ යානය අඟහරු මතට පතිත කළේ 2004 ජනවාරි 25 වැනිදාය. ‘ඔපර්චුනිටි’ නිර්මාණයට ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වැයවී ඇත.

පසුගිය ජූනි මාසයේ සිට නාසා විද්‍යාඥයන්ට ‘ඔපර්චුනිටි’ රෝවරය සමඟ සම්බන්ධ වීමට නොහැකි විය. එදා සිට මේ දක්වා යානය සමඟ සම්බන්ධ වීමට නාසා විද්‍යාඥයන් උත්සාහ කළ ද එය අසාර්ථක විය.
සූර්ය බලයෙන් යානයේ බැටරි ආරෝපණය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති හෙයින්, යානය අක්‍රිය වී යන්න ඇතැයි නාසා ආයතනය පවසයි. ‘ඔපර්චුනිටි’ යානය ‘මියගිය’ බවත්, යානයේ මෙහෙයුම් අවසන් බවත් නාසා ආයතනය නිවේදනය කළේ ඒ අනුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS