ෆේස්බුක් මකා දාන්න වෙලාව ඇවිල්ලා



ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මකා දමන්නට කාලය පැමිණ ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වට්ස්අප් මෘදුකාංගයේ නිර්මාතෘ බ්‍රයන් ඇක්ටන් සඳහන් කළේය.

වට්ස්අප් මෘදුකාංගය සහ සමාගම දැන් ෆේස්බුක් සමාගමට අයත් වන අතර ෆේස්බුක් සමාගම් 2-014 වසරේදී වට්ස්අප් සමාගම ඩොලර් බිලියන 19කට මිලදී ගත්තේය.

මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව දැඩි හඬක් නැගී අතර ඇමෙරිකාව, යුරෝපා සංගමයේ රටවල් සහ තවත් සංවිධාන රැසක් ඊට එක්ව සිටිති. ට්විටර් සමාජ ජාලය ඔස්සේ ෆේස්බුක් මකා දමන්න යනුවෙන් ව්‍යාපාරයක් ද දියත් වේ. ෆේස්බුක් සමාගමේද අනුදැනුම ඇති ව බි්‍රතාන්‍යයේ ‘කේම්බි්‍රජ් ඇනලිටිකා’ සමාගම ෆේස්බුක් පරිශීලකයන් මිලියන 50ක දත්තවලට අනවසරයෙන් ප්‍රවේශ වීමත් සමඟ මෙම අර්බුදය හටගෙන තිබේ.

ඇක්ටන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ෆේස්බුක් සමාගමෙන් ඉවත් විය. හෙතෙම මෑතකදීම ආරක්ෂිත පණිවුඩ මෘදුකාංගයක් වන ‘සිග්නල්’ හි ඩොලර් මිලියන 50ක ආයෝජනයක් කළ බවත් සමාගමේ පදනමට එක් වූ බවත් නිවේදනය කළේය.

ෆේස්බුක් සමාගමට එහි පරීශිලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දේශපාලකයන්ගෙන් සහ මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මේ අතරම ෆේස්බුක් සමාගමේ වෙළෙඳපොළ අගයද වේගයෙන් පහත වැටී තිබේ. මේ සතියේ මේ දක්වා කාලයේදී පමණක් එහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 50කින් කඩා වැටිණි.

සී.එන්.එන් ටෙක් ඇසුරිනි


RECOMMEND POSTS