හොංකොං පාලනය පළමු වරට කාන්තාවකට



හොංකොං ස්වයං පාලන ප්‍රදේශයට නව පාලකයකු තෝරා ගැනීම සිදුවුණු අතර එම ධුරය හිමිවූයේ කැරී ලෑම්ටය. ඒ අනුව එම ධුරයට පළමු වරට කාන්තාවක් පත් වුණු අවස්ථාව මෙයයි.

නව පාලකයා තෝරා ගැනීම සිදුවූයේ සාමාජිකයන් 1,194 දෙනකුගෙන් සමන්විත මැතිවරණ කමිටුව මගිනි.  මෙම කමිටුවට ඇතුළත් වී සිටින බොහෝ දෙනා හොංකොං පාලන ප්‍රදේශයේ ධනවතුන් සහ බලවතුන්ය. මොවුහු චීනය සමඟ සමීප සබඳතා පත්වන අය ද වෙති.

හොංකොං පාලන ප්‍රදේශය රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ නැත. එය සැලකෙන්නේ ස්වං පාලන ප්‍රදේශයක් ලෙසය. නව පාලකයා ලෙස කැරී ලෑම් තේරී පත්වූයේ 777 දෙනකුගේ ඡන්දය ඇයට හිමිවීමෙනි. හොංකොං පාලන ප්‍රදේශයට පත්වුණු සිවුවැනි පාලකයා වන්නේ කැරී ලෑම් ය.

මෙතෙක් හොංකොං දේශයේ නියෝජ්‍ය නායිකාව ලෙස කටයුතු කළේ ද කැරී ලෑම් ය. ඇයට අභියෝගයක් වූයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන ජෝන් සැං ගෙන් ය. ජෝන් සැං ගෙන් හොංකොං වැසියන් අතරේ ජනප්‍රිය චරිතක් විය. කෙසේ නමුත් ජෝන් සැංට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 365 කි. තෙවැනි ස්ථානයට පත් වූයේ වූ වොක් හිං ය. ඔහු ඡන්ද  21 ක් හිමි කර ගත්තේය. වූ වොක් හිං විශ්‍රාමලත් විනිසුරුවරයකු බව පැවැසෙයි.

හොංකොං පාලන ප්‍රදේශය සඳහා මෙසේ නව පාලකයකු තෝරා ගැනීම සිදු වූයේ එම ධුරයේ සිටි සී වයි ලියුන් ඉවත් වීමත් සමඟය.  
මැතිවරණ කමිටුවට බලය පවරන්නේ නැතිව, හොංකොං ජනතාව ඡන්දය ප්‍රකාශ කර පාලකයකු තෝරා ගැනීම සම්බන්ධයෙන් 2014 වසරේ දී හොංකොංහි විරෝධතා රැලි පැවැත්විණි.

කෙසේ නමුත් එම විරෝධතාවලින් කිසිදු බලපෑමක් එල්ල නොවිණි. හොංකොං පොලිසිය හරස් වී විරෝධතා විසුරුවා හැරීමට පියවර ගත්තේය. විරෝධතාකරුවන් එම විරෝධතා සඳහා එක් වූයේ කුඩ ඉහලා ගනිමිනි. හොංකොං වැසියන් එසේ ‘කුඩ විරෝධතා’ පැවැත් වූයේ පොලිසිය එල්ල කළ ගම්මිරිස් ප්‍රහාරවලින් බේරීම සඳහාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS