හදිසි නීතිය මාසයකින් දීර්ඝ කෙරේ



මාලදිවයිනේ හදිසි නීතිය තව මාසයකින් දීර්ඝ කිරීමට එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කළේය.

මාලදිවයින ජනාධිපති යමීන් ගත් මෙම තීරණය ඉන්දියාවේ කනස්සල්ලට හේතුවක් වී ඇති බව ද වාර්තා වේ.

මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය 5 වැනිදාය. ඒ, දින 15 කට පමණි. කෙසේ නමුත් තීරණය මාසයකින් දීර්ඝ කිරීමට ජනපති යමීන් තීරණය කර තිබේ.

මාලදිවයිනේ දේශාලන අර්බුදයක් නිර්මාණය වූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සති අන්තයේ ලබා දුන් තීන්දු කිහිපයක් මුල් කරගනිමිනි. එයින් එක් තීන්දුවක් වන්නේ, අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් පිරිසක් වහා නිදහස් කරන ලෙසය.

දෙවැනි තීන්දුව වන්නේ රටින් පිටුවහල් වී සිටින හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ට යළි මාලිදිවයිනට පැමිණෙන්න අවසර දෙන ලෙසය. හිටපු ජනපති නෂීඞ්ට එරෙහිව ලබා දී ඇති තීන්දුව ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම ජනපති  අබ්දුල්ලා යමීන් ප්‍රතික්ෂේප කළේය. රටේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ඒ අනුවය.

ජනපති යමීන් එරට හදිසි නීතිය පැනැවීමට පියවර ගත්තේ එරට අගවිනිසුරු අබ්දුල්ලා සයීඞ් සහ තවත් විනිසුරුවරයකු අත්අඩංගුවට ගනිමිනි.  මාලදිවයිනේ හටගත් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කනස්සල්ල පළ කර ඇතැයි ද වර්තා වේ. මාලදිවයින විපක්ෂය චෝදනා කරන්නේ ජනපති යමීන්ගේ ක්‍රියාකලාපය ‘ඒකාධිපති’ ස්වරූපයක් ගෙන ඇති බවත්, ඔහුට එරෙහිව ජාත්‍යන්තරය විරුද්ධ විය යුතු බවත්ය.

(ඒ.එෆ්.පී./එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS