හදිසි නීතිය දිගටම



ඉතියෝපියාවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු පැනවූ හදිසි නීතිය මාස හයක් දක්වා දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. 

හදිසි නීතිය මාස හයක් දීර්ඝ කිරීමට තීරණය කළ බව එරට ආරක්ෂක අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබූ අතර ඒ බව මුලින් නිවේදනය කළේ සිකුරාදා (16) වැනිදාය. මේ අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ විරෝධතා සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන විවිධාකාරයේ ප්‍රකාශන බෙදා හැරීම හා ප්‍රසිද්ධ කිරීම ද තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව සෙනසුරාදා ඉතියෝපියාවේ ආරක්ෂක අමාත්‍ය සිරාජ් ෆෙගෙසා  මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 

“ප්‍රචණ්ඩත්වය නවත්වන්න රජය පියවර කිහිපයක් ගෙන තිබුණා. එහෙත් ජීවිත නැතිවුණා. ප්‍රචණ්ඩත්වය අඩු වුණේ නැහැ. බොහෝ පිරිසක් අවතැන් වෙලා. ආර්ථික යටිතල පහසුකම්වලට දැඩි ලෙස හානි වෙලා ” ෆෙගෙසා කීය. 

අනුමැතිය ලබාගැනීම හදිසි නීති නියෝගය පාර්ලිමේන්තුවට යවන බව ද හෙතෙම කීවේය. නව හදිසි නීති නියෝගය යටතේ ආරක්ෂක අංශවලට සහ පොලිසියට ‘ව්‍යවස්ථානුකූල නියෝගය’ උල්ලංඝණය කරන ඕනෑම කෙනකු අත්අඩංගුවට ගැනීමට සහ අධිකරණ නියෝගයකින් තොරව ඕනෑම නිවසක්, වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමට හැකියාව ඇතැයි ඉතියෝපියෝ රාජ්‍ය රූපවාහිනිය වන ෆානා පුවත් සේවය වාර්තා කළේය. 

අල්ජසීරා 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS