සුළු ජාතික මන්ත්‍රීවරියන් ඇමෙරිකාවෙන් සමාව ගන්න ඕනෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ අර්බුදයකට පැටලුණු ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියන් සිවුදෙනාට ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකා රජය විවේචනය කරමින්, රජයට නිගරු කිරීම හේතුවෙන් ඔවුන් සිවුදෙනා ඇමෙරිකානුවන්ගෙන් සමාව ඉල්ලීමක් කළ යුතු බවය.

ට්‍රම්ප් පරිපාලනය විවේචනය කිරීම හේතුවෙන්, ජනපති ට්‍රම්ප් සමඟ අර්බුදයක් ඇති කර ගත්තේ විදෙස් සම්භවයක් ඇති සුළු ජාතික මන්ත්‍රීවරියන් වන ඇලෙක්සැන්ඩි්‍රයා කෝටේස්, රෂීදා තලයිබ්, ඉල්හාන් ඕමාර් සහ අයන්යා ප්‍රෙස්ලි ය.

මොවුන් සිවුදෙනාගෙන් ඉල්හාන් ඕමාර් හැර සෙසු තිදෙනා ඇමෙරිකාවේ උපත ලබා ඇත. ඉල්හාන් ඕමාර් කුඩා කළ සෝමාලියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ තැනැත්තියකි.

‘මට හිතෙන විදියට මේ මන්ත්‍රීවරියන් සිවුදෙනාට ඇමෙරිකාව ගැන කැක්කුමක් නැහැ. ඔවුන් ඇමෙරිකාවට නිග්‍රහ කරන්නේ ඒ නිසයි. ඔවුන් කරන ප්‍රකාශ හේතුවෙන් ඔවුන් ඇමෙරිකානුවන්ගෙන් සමාව ඉල්ලීමක් කළ යුතුයි’ යැයි ජනපති ට්‍රම්ප් නිකුත් කළ නවතම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS