සුළි කුණාටු දෙකක්



මහ වැසි සහ තද සුළං සමඟ ‘ෆ්ලොරෙන්ස්’ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඇමෙරිකාව හරහා හමා යද්දී, ‘මොන්ගට්’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි.

පිලිපීනයේ ලූසොන් ප‍්‍රධාන දූපතට ‘මොන්ගට්’ සුළි කුණාටුවෙන් සිදුවුණු හානිය අතිමහත්ය. සුළි කුණාටුවේ බලපෑමෙන් 14 දෙනකු මියගිය බවත් 22 ක් අතුරුදන් වී ඇති බවත් පිලිපීන බලධාරීහු පවසති.

‘මොන්ගට්’ සුළි කුණාටුව හේතුවෙන් හෙක්ටයාර් දහස් ගණනක වගාබිම් විනාශ වී ඇත. ඒ, කගයාන් පළාතේය. කගයාන් පළාතේ ටුගුගාරෝ නරයේ සෑම ගොඩනැගිල්ලකටම සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇති ද වාර්තා වේ.

ගස් කඩා වැටීමෙන් සහ නායයෑම්වලින් ද නිවාස වලට හානි සිදුවිය. විදුලි බලය නොමැතිව දස දහස් ගණනක් පීඩාවට පත් වී සිටින බව පිලිපීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘මොන්ගට්’ සුළි කුණාටුව පැමිණෙන බවට කාලගුණ බලධාරීන් පසුගිය සති අන්තයේ අනතුරු ඇඟවීම් කළ බැවින් අවදානම් පළාත්වල ජීවත් වුණු ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ප‍්‍රදේශවලට යොමු කරන ලදී. එම පිරිස මේ වනවිට තාවකාලික සහන කඳවුරුවල රැුඳී සිටින බව පැවැසෙයි.

පිලිපීන කාලගුණ බලධාරීන් කියා සිටියේ එරටට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙස ‘මොන්ගට්’ කියාය. විපතට පත්වූවන්ට පිහිටවීමට හමුදාව යොදවා ඇතැයි පිලිපීන රජය පවසා ඇත.

පිලිපීන රතු කුරුස සංවිධානය ද සහන සේවා සහ විපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින බව පැවැසෙයි.
පිලිපීනය කැලැඹූ ‘මොන්ගට්’ සුළි කුණාටුව මේ වනවිට දකුණුදිග චීනය දෙසට හමා යමින් ඇති බවත්, එහි ප‍්‍රචණ්ඩකාරී ස්වරූපය කෙමෙන් පහව ගොස් ඇති බවත් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

ඇමෙරිකාවට කඩා වැදුණු ‘ෆ්ලොරෙන්ස්’ සුළි කුණාටුවෙන් දරුණුතම හානි සිදුවී ඇත්තේ උතුරු කැරොලයිනා ජනපදයටය. එම ජනපදයේ හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කටයුතු කර තිබේ.

‘ෆ්ලොරෙන්ස්’ සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට පැමිණෙන බව කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවූ අවස්ථාවේදී පවා ඇමෙරිකා ජනාධිපතිවරයා දිගින් දිගටම, ජනතාවට අනතුරු ඇඟවීම් කළේ හැකි තරම් ආරක්ෂා වන ලෙසය.

‘ෆ්ලොරෙන්ස්’ සුළි කුණාටුව අවතක්සේරු කරන්න එපා යැයි කියමින් ට‍්‍රම්ප් ටිවිටර් පණිවුඩ ද නිකුත් කළේය.

උතුරු කැරොලයිනා ජනපදය හරහා ‘ෆ්ලොරෙන්ස්’ හමා ගියේ පැයට කිලෝ මීටර් 80 ක වේගයකිනි. තද සුළං හේතුවෙන් ගස් කඩා වැටුණු බවත්, විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වුණු බවත් පැවැසෙයි. අනතුරු ඇඟවීම් කර තිබුණ ද සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

උතුරු කැරොලයිනා ජනපදයේ කුඩා නගර රැුසක් හදිසියේ හටගත් ජල ගැලීම්වලින් යටවී ඇතැයි පැවැසෙයි. විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා හමුදාව යෙදවීමට ප‍්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත. විදුලිය විසන්ධි වීමෙන් පීඩාවට පත්වී සිටින පිරිස මිලියනයකට වැඩි යැයි ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS