සුලමුල සෙවීමේ විමර්ශන ඇරැඹේ



ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල සෙවීමට විශේෂ විර්ශනයක් ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම විශේෂ විමර්ශනය ආරම්භ කෙරුණේ චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙනි. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා හිස එසවූයේ පසුගිය දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

වයිරස සම්බන්ධයෙන් චීන රජය ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් ජනවාරියේය. ඒ, එය සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ පැතිරෙන කොරෝනා වයිරස පවුලේ නව සාමාජිකයකු බව හඳුනා ගැනීමෙන් පසුවය.

නව කොරෝනා වයිරසය ‘කොවිඩ් 19’ යන නිල නාමයෙන් නම් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. කෙසේ නමුත් වයිරසයේ බිහිසුණු ස්වභාවය පිළිබඳ තොරතුරු වසං කළේ යැයි චීනයට චෝදනා එල්ල වී ඇත.

චීනය ලබා දුන් දත්ත හා තොරතුරු පමණක් පාදක කර ගනිමින් කටයුතු කළ නිසාත්, නිසි ලෙස නිසි වේලාවේ අනතුරු ඇගවීම් නොකළ නිසාත් ඇමෙරිකාව වයිරසයේ කේන්ද්‍රස්ථානයක් වුණැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස් නගයි. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ගැනීමට පවා ට්‍රම්ප් කටයුතු කළේ ඒ අනුවය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂකයන් වූහාන් නුවර පමණක් නොව, වූහාන් නුවර පිහිටි චීන රජයේ වයිරස රසායනාගාරය ද පරීක්ෂා කිරීමට නියමිතය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත් ඕස්ට්‍රේලියානු බුද්ධි අංශයත් චෝදනා නගා ඇත්තේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මෙම රසායනාගාරයේ දී වැඩි දියුණු කොට නිර්මාණය කළ එකක් බවත්, එය වැරදීමකින් සමාජයට මුදා හැරෙන්න ඇති බවත්ය.

2013 දී චීනයේ තඹ ආකරයක සේවකයන් පිරිසක් දරුණු නියුමෝනියා රෝගී තත්ත්වයකින් පසුවුණු බවත්, ඔවුන්ට කොරෝනා වයිරසයක් ආසාදනය වී ඇතැයි එම අවස්ථාවේ දී හඳුනා ගැණුනු බවත් මේ වනවිට අනාවරණය වී ඇත. එම කොරෝනා වයිරසයේ ලක්ෂණ ‘කොවිඩ් 19’ වයිරසයට බෙහෙවින් සමාන වූ බව ද පැවැසෙයි. වූහාන් වයිරස රසායනාගාරයේ විද්‍යාඥයන්, එම වයිරදසය වැඩි දියුණු කරමින්, ජීව අවියක් ලෙස යොදා ගැනීමට ‘කොවිඩ් 19’ වයිරසය නිර්මාණය කළේ යැයි ද සැකයක් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ කණ්ඩායමට චීන රජයේත් එරට සෞඛ්‍ය බලධාරීන්ගේත් සහාය නොඅඩුව හිමිවනු ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ කණ්ඩායම වයිරසයේ සුලමුල සෙවීමට චීනයට යෑම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සතුට වී ඇත. චීන රජය සමඟ එක් වී, චීනයට වාසි වන අයුරින්, වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් පමණක් නොව, වයිරසයේ වේගවත් පැතිරීම සම්බන්ධයෙන් ලොවට කරුණු වසං කළේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් චෝදනා එල්ල විය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS