සුදු මැදුරට සමුදෙන පළමු කළු ජනපති බැරැක් ඔබාමා



ඇමෙරිකාවේ ප්‍රථම කළු ජනාධිපති බැරැක් ඔබාමාගේ දෙවැනි සහ අවසන් ධුර කාලය ලබන 20 වැනිදායින් අවසන් වෙයි. ඔබාමා, බිරිය මිෂෙල්, දියණියන් වන සාෂා සහ මලීයා ඇමෙරිකා ජනපති නිවස වන ධවල මන්දිරයෙන් නික්ම යන්නේ, පසුගිය වසරේ නොවැම්බර් 8 වැනිදා පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනපති ධුරයට තේරුණු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පවුලේ අයට ඉඩ දෙමිනි. 


පසුගිය 11 වැනිදා, 55 හැවිරිදි බැරැක් ඔබාමා අවසන් වරට ජාතිය ඇමැතුවේය. එය ඔහුගේ සමුගැනීමේ කතාව විය. එහිදී ඔබාමා ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට කටයුතු කටයුතු කරන ලෙසය. ඔබාමා සිය සමුගැනීමේ කතාව පැවැත්වූයේ චිකාගෝ නුවරය. 


ඇමෙරිකා ජනපති ලෙස ඔබාමා ඇමෙරිකාවට ජයග්‍රහණ රැසක් උදා කර දුන්නේය. කිසිදු අවි ගැටුමකින් තොරව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් ඇති කර ගනීමට ඔබාමා පරිපාලනය සමත් විය. කියුබාව සමඟ යහපත් සබඳතා ඇති කර ගත්තේය. පාකිස්තානයේ සැඟවී ජීවත්වුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා මරා දැමීමේ මෙහෙයුම සිදු කළේ ඇමෙරිකා ජනපති මෙන්ම එරට සේනාධිනායකයා ද වන ඔබාමාගේ නායකත්වය යටතේය.  


ඊට අමතරව යුක්රේන අර්බුදය සහ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් සමඟ ඔබාමා හිත් අමනාපකම් ඇති කර ගත්තේය. මීට සති කිහිපයකට පෙර ද රුසියාවට එරෙහිව ඔබාමා පරිපාලනය සම්බාධක පැනැවීමට කටයුතු කළේය. ඒ, නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියන් ජනපති පුටින්ගේ මෙහෙයවීමෙන් අන්තර් ජාල සහ පරිගණක හරහා හැකර් ප්‍රහාරයක් එල්ලවුණු බවට ඇමෙරිකන් බුද්ධි අංශ චෝදනා එල්ල කිරීමත් සමගය.


දේශපාලනික වශයෙන් ඔබාමා ගත් තීරණ ලෝකයේ ඉරණම ද වෙනස් කළේය. අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ලොවට තර්ජනයක් වූයේ ලිබියානු සහ සිරියානු සිවිල් යුද්ධයේදී, ඇමෙරිකාව ගඩාෆි පෙරළා දැමූ කැරැලිකරුවන්ටත්, සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට තැත් කරන විපක්ෂ කණ්ඩායම්වලටත් ආයුධ ලබා දී ශක්තිමත් කිරීමත් සමඟය. එම අවි ආයුධ හිමිවූයේ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ටය. ඒ අනුව, කුඩා ත්‍රස්ත කල්ලියක් ලෙස පැවැති අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් බවට පත් කළේ ඔබාමා යැයි එල්ලවන චෝදනා සාධාරණය.

 

 

ඔබාමා උපන්නේ, 1961 වසරේ අගෝස්තු 4 වැනිදා හවායිහි හොනලූලූහිදීය. උපන් නාමය බැරැක් හුසේන් ඔබාමා ජූනියර් (කණිෂ්ඨ) ය. ‘බැරැක්’ යන්න ස්වහීලී ගෝත්‍රික වදනකි. එහි අර්ථය ‘ආශිර්වාදලත් තැනැත්තා’ යන්නයි. ඔබාමා ක්‍රිස්තියානුවෙකි.

පියාගේ නම බැරැක් හුසේන් ඔබාමා (ජ්‍යෙෂ්ඨ)ය. ඔහු අප්‍රිකාවට අයත් කෙන්යාවේ රාජ්‍ය නිලධාරියකු මෙන්ම එළු පට්ටි හිමිකරුවෙකි. ඔබාමාගේ මව ස්ටැන්ලි ඈන් (ඩන්හැම්) ඔබාමා සේටෝරෝය. ඇය මානව විද්‍යාඥයෙකි.

1964 වසරේ දී ඔබාමාගේ පියා සහ මව දික්කසාද වූහ. එවිට ඔබාමාගේ වයස  අවුරුදු දෙකකි. ඉන්පසු ඔබාමා මව සමඟ ඉන්දුනීසියාවට ගියේය. මව ඉන්දුනීසියානු ජාතික ලෝලෝ සේටෝරෝ සමඟ විවාහ වූවාය. 1971 වසරේ දී ඔබාමා යළි ඇමෙරිකාවට අයත් හවායි දූපත් බලා පැමිණියේය.

ඔබාමා විවාහ වූයේ මිෂෙල් රොබින්න් සමඟය. ඒ, 1992 වසරේ ඔක්තෝබර් 3 වැනිදාය. ඔබාමාට දියණියන් දෙදෙනෙකි. ඒ, නටාෂා (සාෂා) සහ මලීයා ය.

ඔබාමා, 1983 දී කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ද 1991 වසරේදී හාවඞ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් ද උපාධි හිමි කරගත්තේය. හාවඞ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් මෙසේ උපාධි හිමිකර ගත් පළමු කළු ජාතික ඇමරිකානුවා ද ඔබාමාය.

1995 වසරේ දී ඔබාමා ස්වයං ලිඛිත චරිතාපදානයක් එළිදැක්වීය. ඒ, ‘ඩී්‍රම්ස් ෆ්‍රොම් මයි ෆාදර්’ යන නමිනි. තමා ගැටවර වියේදී සහ උසස් පාසල් යද්දී ගංජා සහ කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිත කළේ යැයි ඔබාමා එහි සඳහන් කර ඇත.

2008 වසරේ නොවැම්බර් 4 වැනිදා මිලියන 66.7 ක ජනප්‍රිය ඡන්දයෙන් සහ ඉලෙක්ටෝරල් ඡන්ද 365 ක් හිමිකර ගනිමින් ඇමෙරිකාවේ ජනපති ධුරයට තේරී පත්විය. 

2008 නොවැම්බර් 17 වැනිදා ‘ටයිම්’ සඟරාව වසරේ පුද්ගලයා ලෙස ඔබාමා නම් කළේය.

2009 ජනවාරි 20 වැනිදා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙසත් 44 වැනි ජනාධිපතිවරයා ලෙසත් ඔබාමා දිවුරුම් දී රාජකාරි ආරම්භ කළේය.

2009 අප්‍රේල් 7 වැනිදා හදිසියේම ඉරාකයේ සංචාරය කළේය.

2009 ඔක්තෝබර් 9 වැනිදා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

2010 මාර්තු 23 වැනිදා ඔබාමා ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂක පනත් කෙටුම්පතට අත්සන් තැබුවේය.

2010 මාර්තු 28 වැනිදා හදිසියේම ඇෆ්ගනිස්තානයේ සංචාරය කළේය.

2010 අගෝස්තු 31 වැනිදා, ජාතිය අමතමින් කියා සිටියේ ඇමෙරිකාව ඉරාකයේ සිදුකළ සංග්‍රාම මෙහෙයුම් අවසන් බවය.

2011 මැයි 1 වැනිදා, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟවී ජීවත්වුණු අල් කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුම ඔබාමා යටතේ සිදුවිය. 



2011 මැයි 25 වැනිදා මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතූ පළමු අවස්ථාව මෙයයි. 

2012 නොවැම්බර් 6 වැනිදා, රිපබ්ලිකන් පාක්ෂික මිට් රොමී සමඟ තියුණු සටනකින් පසු බැරැක් ඔබාමා දෙවැනි ධුර කාලය සඳහා ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වූයේය. 

2012 වසරේ දෙසැම්බර් 19 වැනිදා ‘ටයිම්’ සඟරාව දෙවැනි වරටත් ඔබාමා වසරේ පුද්ගලයා ලෙස නම් කළේය.

2013 ජනවාරි 20 වැනිදා දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දුන්නේය.

2014 දෙසැම්බර් 17 වැනිදා කියුබාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමේ අදහසින්, ඇමෙරිකාව විසින් කියුබාවට පනවා තිබුණු යල් පැන ගියැයි පැවැසුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කළේය. කියුබාවේ හවානා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට මඟ පෑදුණේ ඔබාමා ගත් මෙම ක්‍රියා මාර්ගයයි.

 2015 ජූලි 23 වැනිදා ඇමෙරිකන් ජනපති ලෙස පළමු වරට ඔබාමා සිය කෙන්යාවේ සිය උපන් ගම වෙත ගියේය. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැති ගෝලීය ව්‍යාපාරික සමුළුවට ද සහභාගී විය. 

2016 මාර්තු 20 වැනිදා ඔබාමා කියුබාවට පැමිණියේ කියුබාව සමඟ පැවැති එදිරිවාදිකම් අවසන් කරමිනි. වසර 88 කට පසු කියුබාවට පැමිණි පළමු ඇමෙරිකන් ජනපති වන්නේ ද ඔබාමාය.

2016 මැයි 27 වැනිදා ජපාන සංචාරයක් අතරතුරේ ඔබාමා හිරෝෂීමාවට ගොස් එහි ඇති යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් කරමින් ඇමෙරිකාව ජපානයට හෙලූ පරමාණු බෝම්බයෙන් සිදුවුණු විනාශය සිහි කරමින්, න්‍යෂ්ටික අවිවලින් තොර ලොවක් ද ප්‍රාර්ථනා කරමිනි. හිරෝෂීමාවට ගිය පළමු ඇමෙරිකන් ජනපති වන්නේ ද ඔබාමාය.

ලුසිත ජයමාන්න
ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි

 

ජනපති ධුරයට සමුදීමෙන් පසු ඇමෙරිකාවේ ජනපතිවරු සහ ඔවුන්ගේ පවුල්වල අය වොෂින්ටන් අගනුවරින් ඈත්වී, අප්‍රකට ජීවිතයක් ගත කිරීමට වැඩි උනන්දුවක් දක්වති. කෙසේ නමුත් ඔබාමා පවුල ඊට වෙනස් වනු ඇතැයි පැවැසෙයි. ඔබාමාගේ බාල දියණිය සාෂා තවමත් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර නැත. එහෙයින්, ඇය උපාධිය හිමිකරගන්නා තුරු, ඔබාමාට සහ බිරිය මිෂෙල්ට තව දුරටත් වොෂින්ටනයේම රැඳී සිටීමට සිදුවනු ඇත.

ධවල මන්දිරයට සමුදීමෙන් පසු, ඔබාමා පවුල ඔවුන්ගේ නව නිවස ලෙස තෝරා ගනු ඇත්තේ වොෂින්ටන් අගනුවර කලෝරාමා පළාතේ පිහිටි කාමර අටකින්, කුඩා ගෙවත්තකින් සහ ගරාජ දෙකකින් සමන්විත මන්දිරයකි. මෙහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 5.3 කි. මෙය පිහිටා ඇත්තේ ධවල මන්දිරයේ සිට සැතපුම් දෙකක් පමණ දුරකිනි. ඇමෙරිකන් පුවත් සේවා පෙරේදා (16) වාර්තා කළේ ධවල මන්දිරයේ සිට මෙම නිවසට ඔබාමා පවුලේ බඩු මුට්ටු ප්‍රවාහනය කිරීම ආරම්භ කර ඇති බවය. ඒ අනුව, 1921 වසරේ වුඞ්රෝ විල්සන් ඇමෙරිකන් ජනපති ධුරයට සමුදීමෙන් පසු, තව දුරටත් වොෂින්ටන් අගනුවර රැඳී සිටින පළමු ජනාධිපතිවරයා වනු ඇත්තේ ද ඔබාමාය.

මූල්‍ය වාර්තා උපුටා දක්වමින්, ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දී ඇති පරිදි, අද වනවිට ඔබාමාගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 7 කි. 2008 වසරේ දී ඇමෙරිකාවේ 44 වැනි ජනපතිවරයා වනවිට ඔබාමාගේ වත්කම්වල වටිනාකම වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.3 ක් පමණි. ඔබාමාට ජනපති වැටුපක් හිමි වන අතර, ඔබාමා සහ පවුලේ අයට ජීවිත කාලයට පුරාවට ජනපති ආරක්ෂක සේවය හෙවත් ‘සීක්‍රට් සර්විස්’ සේවයේ ආරක්ෂාව ද හිමිවෙයි.

2001 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරයාට හිමිවන වාර්ෂික වැටුප සහ දීමනා සම්බන්ධයෙන් සංශෝධන සිදුවිය. ඒ ඇමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ යෝජනාවකට අනුවය. ඊට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව, ඇමෙරිකන් ජනපතිවරයකුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 4,00,000 කි. ඊට අමතරව විශේෂ දීමනාවක් ලෙස ඇමෙරිකන් ඩොලර් 50,000 ක් ද හිමිවෙයි. ගමන් බිමන් සඳහා ඇමෙරිකන් ඩොලර් 1,00,000 ක් සහ විනෝදාස්වාදන කටයුතු වෙනුවෙන් ඩොලර් 19,000 ක් ද හිමිවෙයි.

45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමා ඇමෙරිකන් ජනපතිවරයාට හිමි වැටුප ලබා නොගන්නා බවය. කෙසේ නමුත් ඇමෙරිකාවේ නීතියට අනුව, ට්‍රම්ප්ට වසරක වැටුප ලෙස එක් ඩොලරයක් ලබා ගැනීමට සිදුවෙයි.
ඔබාමා පෙරේදා දිනයේ සංවාදශීලී ‘සික්සිටි මිනිට්ස්’ දේශපාලන වැඩසටහනට සහභාගී විය. එය ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස ලබා දුන් අවසන් සම්මුඛ සාකච්ඡාව ද විය. එහිදී ඔබාමා කියා සිටියේ ධවල මන්දිරයෙන් යන්න ලැබීම ඇත්තටම සතුටක් කියාය.

 


RECOMMEND POSTS