විදේශිකයන්ට නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම්



පුරවැසිභාවය නොලැබූ විදේශිකයන්ට, නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම් කිරීමේ නව පනත් කෙටුම්පත  නවසීලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විදේශිකයන් පැමිණ, නවසීලන්ත වැසියන්ගේ නිවාස සහ ඉඩම් මිලදී ගැනීමත්, නවසීලන්ත වැසියන් බොහෝ දෙනකු නිවාස නොමැතිව අර්බුදවලට ලක්වීමත් සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, 63 දෙනෙක් ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප්‍රකාශ කළහ. විරෝධය දැක්වූ ගණන 57 කි. නිවාස මිලදී ගැනීමට තහනම් වුවත්, මහල් නිවාස සංකීර්ණවල කුඩා නිවාස මිලදී ගැනීමට නවසීලන්ත පුරවැසිභාවය නොමැති එරටට පැමිණ පදිංචි වන විදේශිකයන්ට අවසර හිමිවන බව රජය පවසයි.

නවසීලන්ත පුරවැසිභාවය හිමි විදේශිකයන්ට මෙම නීතිය වලංගු නොවන බව පැවැසෙයි. ඊට අමතරව, නවසීලන්තයේ පදිංචි හෝ පදිංචියට පැමිණෙන, නවසීලන්ත පුරවැසිභාවය නොමැති සිංගප්පූරු සහ ඕස්ටේ්‍රලියා ජාතිකයන්ට ද මෙම නව නීතිය බලපාන්නේ නැති බව ද නවසීලන්ත රජය වැඩි දුරටත් කියා සිටී. සිංගප්පූරුව සහ ඕස්ටේ්‍රලියාව සමඟ නවසීලන්තය වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් කර ඇත. සිංගප්පූරු සහ ඕස්ටේ්‍රලියා වැසියන්ට මෙම නව නීතිය අදාල නොවන බව පැවැසෙන්නේ ඒ නිසාය.

නවසීලන්තයේ ඇත්තේ සන්ධාන මධ්‍ය වාමාංශික රජයකි. අගමැති ධුරය හොබවන්නේ කාන්තාවකි. ඇය නවසීලන්ත කම්කරු පක්ෂ නායිකා ජැසින්ඩා අර්ඩර්න්ය. 37 හැවිරිදි ඇය නවසීලන්ත අගමැති ධුරයට පත් ළාබාලතම තැනැත්තියයි.

නවසීලන්තයේ නිවාස සහ ඉඩකඩම් මිලදී ගැනීමට වැඩිපුර සිදු කරන්නේ චීන ආයෝජකයන් යැයි පැවැසෙයි. එපමණක් නොව, කෝටිපති ඇමෙරිකන් ව්‍යාපාරිකයන් පවා නවසීලන්තයේ නිවාස සහ ඉඩකඩම් මිලදී ගෙන ඇත. 

විදේශිකයන් වැඩි වැඩියෙන් නිවාස මිලදී ගැනීමට පෙළඹීම හේතුවෙන් නවසීලන්තයේ නිවාසවල මිල ඉහළ ගොස් ඇත. පසුගිය වසර 10 ක කාලයේ එය සියයට 60 කින් ඉහළ ගිය බව වාර්තා වේ.

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඞ් හි නිවාසවල වටිනාකම අනෙක් නගරවලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව, නවසීලන්ත පුරවැසියන්ට නිවාස ගැනීම විශාල ගැටලුවකි. නවසීලන්ත නව රජය මෙම නව නීතිය හඳුන්වාදීමට කටයුතු කළේ ද එහෙයිනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS