වසර දෙකකට පස්සේ බීජීං වාතය පිරිසුදුවෙලා



බීජීං නුවරදීය (රොයිටර්)
වසර දෙකක් තිස්සේ, චීනයේ බීජීං අගනුවර වැසී පැවැති විස වායු දුමාරය ඊයේ (22) වනවිට පහව ගොස් තිබුණු බවත්, පැහැදිලි නිල් අහසක් දකින්න ලැබුණු බවත් චීන පුවත් සේවා වාර්තා කළේය.

2014 වසරේ සිට චීනයේ බීජිං අගනුවර ලොව වායු දූෂණයෙන් වැඩිම නගරය වී තිබුණි. අගයක් ලෙස එය 400 සීමාව පසු කර තිබුණි. 

චීන බලධාරීන්ගේ උපදෙස් අනුව, බීජීං වැසියන් නිවෙස්වලින් පිටතට ගියේ මුහුණු ආවරණ කර ගනිමිනි. වායු දූෂණය වැඩි වූ අවස්ථාවලදී පාසල් වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ. එවැනි අවස්ථාවලදී බීජීං බලධාරීහු ‘රතු නිවේදන’ නිකුත් කළහ.
ඊයේ උදෑසන වෙද්දී, පැවැති තද සුළං හේතුවෙන්, අගනුවර වසාගෙන පැවැති විස දුමාරය නගරයෙන් ඔබ්බට හමා ගොස් තිබුණු අතර, 400 සීමාවේ පැවැති විස සහිත තත්ත්වය එක රැයකින් 54 තෙක් අඩුවී තිබුණු බව ද සඳහන් වෙයි.

චීනයේ බීජීං අගනුවර මෙසේ විස වායුවලින් පිරී ගියේ නගරය සීඝ්‍රයෙන් කාර්මීකරණයට ලක් වන නිසාය. වායු දූෂණයට බලපාන ප්‍රධාන සාධකය ලෙස සැලකෙන්නේ ඉතා සියුම් විස අංශු කොටස්ය. මෙම අංශු කොටස් සෑදී ඇත්තේ දූවිලි හා දැලි අංශු ආදියෙන් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම විස අංශු ඉතාමත් කුඩා නිසා පහසුවෙන් කෙනකුගේ ශ්වසන පද්ධතිය මගින් පෙනහැල්ලට ඇතුළු වී දරුණු ලෙස රෝගාබාධ ඇති කරයි.

චීනයේ බීජීං අගනුවර වායු දූෂණය ඉහළ යෑමත්, හුස්ම ගැනීමට නොහැකි වී චීන වැසියන් දැඩි ලෙස අපහසුවට පත් වීමත් සමඟ බෝතල් කළ පිරිසුදු වාතය කැනඩාවෙන් මිලදී ගැනීමට චීන බලධාරීන් කටයුතු කළේ යැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

චීනය මෙසේ පිරිසුදු වාතය ඇණවුම් කළේ කැනඩාවේ ‘වයිටලි එයාර්’ නමැති පිරිසුදු වාතය සැපැයීමේ සමාගමෙනි.

‘වයිටලි එයාර්’ සමාගම පවසා ඇත්තේ බීජීං බලධාරීන් කළ ඇණවුමකට අනුව පිරිසුදු වායු බෝතල් 1000 කට වැඩි ප්‍රමාණයක් චීනයට යැවීමට පියවර ගත් බවය. ‘වයිටලි එයාර්’ සමාගම පිරිසුදු වාතය ලබා ගන්නේ කැනඩාවේ කඳුකරයේ වනාන්තර ආශ්‍රිතවය. පිරිසුදු ජලය බෝතල් කර අලෙවි කරන අයුරින් වාතය බෝතල් කර අලෙවිය සිදු කෙරේ.


RECOMMEND POSTS