වසංගතය අතරතුරේ ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරලා



'රණවිරු සැමරුම් දිනය' (මෙමෝරියල් ඩේ) දා, නිරෝධායන තහංචි ලිහිල් කළ අවස්ථාවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වර්ජීනියාවේ සිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ ගොල්ෆ් ක්‍රීඩා කිරීම දැඩි විවේචනයට හේතුවක් වී ඇත.

පසුගිය මාර්තු මාසයෙන් පසු ජනපති ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට සිය ගොල්ෆ් ක්‍රීඩාංගනයට ගිය පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.

'මාධ්‍ය මට මඩ ගහනවා. හරියට මහා අපරාධයක් කළා වගේ. මා ගැන වැරැදි පුවත් පළ වෙනවා. ඒවා බොරු .' යැයි මාධ්‍ය ආයතනවලට ජනපති ට්‍රම්ප් දොස් නගා ඇත. ඒ, ට්විටර් පණිවුඩයක් මගිනි.

මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ 10,000 ට ආසන්නය.

එවැනි තත්ත්වයක් තිබියදී සෞඛ්‍ය උපදෙස් නොතකා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිරෝධායන නීති ලිහිල් කර තිබේ.

එහෙයින්, 'රණ විරු සැමරුම් දිනය' ඇමෙරිකානුවෝ බොහෝ දෙනකු සමාජ දුරස්ථභාවය ගැන කිසිදු තැකීමක් නොකර උද්‍යානවල, මුහුදු වෙරළවල විනෝද වෙමින් කාලය ගත කරන අයුරු දැක ගන්න ලැබුණි. ට්‍රම්ප් ද ඊට නොදැවෙනි අයුරින් ගොල්ෆ් ක්‍රීඩාවේ නියැලුණේය.

වොෂින්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS