ලොව වයස්ගතම මිනිසා දිවියෙන් සමුගනී



ලොව වයස්ගතම මිනිසා ලෙස නිල වශයෙන් නම් කෙරුණු, ගිනස් වාර්තා පොතට ද ඇතුළත් වී සිටි බ්‍රිතාන්‍ය ජාතික බොබ් වෙයිටන් දිවියෙන් සමුගත්තේය.

බොබ් වෙයිටන්ගේ වයස අවුරුදු 112 කි. ඔහු මියගොස් ඇත්තේ මොළයේ පිළිකාවකිනි. හැම්ෂයර් හි සිය නිවසේ දී නින්දෙන් ම වෙයිටන් අවසන් සුසුම් හෙළුවේ යැයි ඔහුගේ පවුලේ අය පවසා තිබේ.

ගිනස් ලෝක වාර්තා අනුව, මෙතෙක් කල් ලොව වයස්ගතම මිනිසා ලෙස එම වාර්තාවට හිමිකම් කීවේ වෙයිටන් ය.

වෙයිටන් මෙම වාර්තාවට හිමිකම් කීවේ පසුගිය පෙබරවාරියේය. ඒ, ඒ වනවිට ලොව වගස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා අතර සිටි චිටෙසු වටනබේ අභාවප්‍රාප්ත වීමෙන් පසුවය. චිටෙසු වටනබේ ජපන් ජාතිකයෙකි.

බොබ් වෙයිටන් උපත ලබා ඇත්තේ උතුරු එංගලන්තයේ යෝක්ෂයර්හිදීය. ඒ, 1908 මාර්තු 29 වැනිදාය. බොබ් වෙයිටන් ට දරුවෝ තිදෙනෙකි. මුණුපුරු මිණිබිරියෝ 10 දෙනෙකි. මී මුණුපුරු මිණිබිරියෝ 25 දෙනෙකි.

ලන්ඩන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS