ලිංගික හිංසන චෝදනාවට වරදකරු වෙයි



ශ්‍රී ලංකන් ගුවන් ගුවන් සමාගමේ වෙළඳ විධායකවරියකට ලිංගික හිංසනය කිරීමේ චෝදනාවට එම සමාගමේ හිටලු කලාපීය කළමනාකරුවෙකු වූ ලලිත් ද සිල්වා නැමැත්තා වරදකරු බවට ඉන්දියාවේ නවදිල්ලි මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා තීන්දු කළේය.

අදාළ චෝදනාවට වරදකරුවූ ලලිත් ද සිල්වා නැමැත්තාට පනවන දඬුවම ලබන නොවැම්බර් 17 වැනිදා එම චූදිතයා හමුවේ ප්‍රකාශ කරන බවද එම අධිකරණය සඳහන් කළේය. මෙම නියෝගය නවදිල්ලි මහේස්ත්‍රාත් දේව් සරෝහා හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

නවදිල්ලි මහේස්ත්‍රාත් අධිකරණය මේ බව සඳහන් කරනු ලැබුවේ මෙම  පුද්ලගයා එරෙහිව පැවැත්වූ නඩුව පිළිබඳ තීන්දුව අන්තර්ජාල තාක්ෂණය හරහා ප්‍රකාශයට පත් කරමිනි. මෙවැනි වරදකට උපරිම දඬුවම වසර තුනක සිර දඬුවමක් බව නීතී ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියන් ලීගල් බියුරෝ වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිද්ධියේ පැමිණිලිකාරියගේ නීතීඥ අජේ වර්මා මහතා අධිකරණයට හමුවේ කියා සිටියේ සිද්ධියට ලක්වූ කාන්තාව,  ඇයගේ ආත්ම ගෞරවය වෙනුවෙන් සටන් කිරීමට අයෝමය ආත්ම ශක්තියක් තිබූ කාන්තාවක් බවය.

පැමිණිලිකාරිය අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේ වසර 12 ක් පුරා මෙම සමාගමට තමා උපරිමයෙන්ම සිය සේවය ලබා දුන් බවත් , සමාගම දිරි දීමනා ලබා දුන්නත් ගැහැණියකට සේවය කිරීමට සුදුසු ආරක්ෂිත පරිසරයක් ලබා නොදුන් බවය.

එසේම සමාගම නීතිවිරෝධී අන්දමින් සිය සේවය අවසන් කිරීමට ද කටයුතු කළ බවත් , තමා ගේ සේවය නීතිවිරෝධීව අවසන් කිරීමට එරෙහිව කම්කරු විනිශ්චය සභාව හමුවේ නඩුවක් පවරා ඇති බවත් , එය දැනට විභාග වන බවද  පැමිණිලිකාරිය අධිකරණය හමුවේ වැඩිදුරටත්  කීවාය.

සේවා ස්ථානයේදී කාන්තාවන්ට ලිංගික හිංසනය වැළැක්වීම , තහනම් කිරීම සහ සහන සැලීසීමේ පනත අනුව අනිවාර්ය කර ඇති  කාන්තා හිංසනය පිළිබඳ අභ්‍යන්තර  පැමිණිලි කමිටුව ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සාපරාධී චෝදනාවන් ලබා ඇති බවද පැමිණිලිකාරිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවාය.

එසේම මෙම නඩුවේ තීන්දුව කාන්තා හිංසනය සම්බන්ධයෙන් පොදුවේ සියලු කාන්තාවන්ට සිය අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමේදී ඉතාම වැදගත් වන බවද පැමිණිලිකාරිය අධිකරණයේදී කීවාය.

පැමිණිල්ලට අනුව ( පැමිණිලිකාරිය හඳුනා ගැනීම වළක්වනු පිණිය ඇයගේ නම සඳහන් නොවේ.) පැමිණිලිකාරිය ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ නවදිල්ලි නුවර ශාඛා කාර්යාලයේ වෙළඳ විධායකවරියකි.

සිද්ධිය සිදුවීමෙන් පසු සමාගම් කළමනාකාරීත්වය සිද්ධිය සම්බන්ධයෙන් චූදිත නිලධාරියාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීම සහතික වූවත් , කිසිදු පියවරක් නොගත් බවද පැමිණිලිකාරිය අධිකරණයට පෙන්වා දී ඇත.

පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමාට ලිංගික හිංසන සිදු කළ චූදිත නිලධාරියා තමා ගෙන් පළි ගැනීමේ අරමුණෙන් නවදිල්ලි කාර්යාලයේ සිට කොචි කාර්යාලයට මාරු කළ බවත් , කොචී කාර්යාලයේ සිටියදී චූදිත නිලධාරියා තමන්ට දිගින් දිගටම හිරිහැර කළ බවද ඉන්දියන් ලීගල් බියුරෝ වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

අධිකරණ හමුවේ පැවති නඩු විභාගයේදී පැමිණිල්ලට එරෙහිව කරුණු දැක්වූ චූදිත නිලධාරියා කියා සිටියේ පැමිණිලිකාරිය තමන්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරන බවත් , ඊට හේතු වී ඇත්තේ ඇය යළිත් දිල්ලි කාර්යාලයට මාරුවීමත් ඉල්ලු විට එය ඉටු නොවීම බවය.

පැමිණිලිකාරියගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් තමා කිසිදු සම්බන්ධයක් නොමැති බවත් , එය සිද කර ඇත්තේ සමාගම විසින් බවද චූදිත නිලධාරියා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.
එසේම පැමිණිලිකාරිය ඇයගේ පළමු පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම පිළිබඳ කරුණු පැහැදිලි කර නොමැති බවත් , මෙම සිද්ධිය පිළිබඳ කිසිදු සාක්කියක්ද නොමැති බවද චූදිත නිලධාරියා අධිකරණය හමුවේ  කීය.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයේ සඳහන් වන්නේ මෙම සිද්ධිය සිදුවූ වහාම ඇයගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මේ ගැන පැමිණිලි කළත් , ඒ පිළිබඳව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිසිදු පියවරක් ගොන නොමැති බවත්, ඇය නීතිය හමුවට පැමිණි ඇත්තේ මෙම සියලු සිදුවීම් වලින් පසුව බව යැයි එම අධිකරණ වාර්තා උපුටා දක්වමින් ඉන්දියන් ලීගල් බියුරෝ වාර්තාවේ දැක්වේ.

(ඉන්දියන් ලීගල් බියුරෝ ඇසුරෙන්)


RECOMMEND POSTS