රුසියා හමුදා යානා වෙනිසියුලාවට



රුසියානු හමුදාවට අයත් ගුවන් යානා දෙකක් පසුගියදා වෙනිසියුලාවේ කැරැකස් අගනුවර බලා පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රුසියාව සහ වෙනිසියුලාව අතරේ ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් කර ඇත. එම ගිවිසුම යටතේ රුසියානු හමුදා සොල්දාදුවන් 100 ක පිරිසක්, ටොන් 35 ක උපකරණ ද සමඟ කැරැකස් බලා පැමිණි බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රුසියාව සහාය දක්වන්නේ වෙනිසියුලා ජනපති නිකලස් මදුරෝටය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, එරට විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ අන්තර්වාර ජනපති ලෙස පිළිගෙන ඇතතත්, රුසියාව පවසන්නේ තමන් සහාය දක්වන්නේ, වෙනිසියුලාවේ නීත්‍යාණුකූල ජනාධිපතිවරයා වන නිකලස් මදුරෝට බවය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහාය දක්වන්නේත් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස පිළිගන්නේත් යුවාන් ගුඅයිඩෝ ය.

රුසියාව, දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට නිරන්තරයෙන් ආධාර ලබා දීම සිදු කරයි.

පසුගිය වසර කිහිපය පුරාවට වෙනිසියුලා රජයට බිලියන ගණනින් ආධාර ලබා දී ඇතැයි ද පැවැසෙයි. වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයටත් හමුදාවටත් රුසියාවේ ආධාර නොඅඩුව හිමිවන බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කැරැකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS