රාහුල්ගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි



මැතිවරණයෙන් ලැබූ ප්‍රබල පරාජයෙන් පසු, ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි, සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විරෝධය ඊට හිමිවී ඇත.

පක්ෂයේ සභාපති ධුරයෙන් තමා ඉවත් වන බව දන්වමින් රාහුල් ගාන්ධි යොමු කළ ලිපිය කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කනස්සල්ලට හේතුවක් වී ඇති බව ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

තමා ඉල්ලා අස්වන බව රාහුල් දන්වා සිටියේ මැතිවරණ පරාජය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී යැයි ද පැවැසෙයි.

ඉන්දීය මහ මැතිවරණ ප්‍රතිඵල අනුව අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ආසන 352 ක් දිනා ගනිද්දී, රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂ සන්ධානයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 91 ක් පමණි.

කොංග්‍රස් පක්ෂය නේරු ගාන්ධි පරපුරේ උරුමයයි. ලැබූ පරාජයෙන් පසු රාහුල් ගාන්ධි පමණක් නොව, පක්ෂයේ ප්‍රබලයක් කිහිප දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කළේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ සභාපති රාජ් බාබාර් ද ඒ අතරේ සිටින බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS