රාහුල් ගාන්ධි පරාජය පිළිගනී



ඉන්දීය මහ මැතිවරණයෙන් ලැබූ පරාජය පිළිගනිමින්, කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඊයේ (23) රාත්‍රියේ අගමැති නරේන්ද්‍ර මෝදිට සුබ පැතුවේය.

ජනතා තීන්දුවට තමන් හිස නමන බව පවසමින්, රාහුල් ගාන්ධි මෝදිගෙන් ඉල්ලා ඇත්තේ සැමවිටම ඉන්දියානුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ලෙසටය.

මෙවර මහ මැතිවරණයෙන් මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 300 කට වැඩි ප්‍රමාණයක් දිනා ගනිද්දී, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 50 කට ආසන්න සංඛ්‍යාවකි.

මෝදි ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූයේ 2014 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. එම මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය බහුතර බලයක් හිමි කර ගත්තේ ආසන 282 ක් දිනා ගනිමිනි. මෙවර මැතිවරණයෙන් ඔවුන් අති බහුතරයක් දිනා ගැනීමට සමත්වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙයි.

2014 වසරේ දී කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 44 කි. මෙවර කොංග්‍රස් පක්ෂය ලැබූ පරාජයෙන් පෙනී යන්නේ ගාන්ධි නේරු පරපුරේ අවසානය ළංවී ඇති බව යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කොංග්‍රස් පක්ෂයේ අනාගතය තීරණය කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවීමට නියමිත අතර, එහිදී රාහුල් ගාන්ධිගේ නායකත්වය ප්‍රශ්න කෙරෙනු ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. කොංග්‍රස් පක්ෂයේ දරුණු පරාජය සම්බන්ධයෙන් 48 හැවිරිදි රාහුල් ගාන්ධිට දොස් අහන්න සිදුවී ඇති බව ද වාර්තා වේ.

මෙවර මැතිවරණයේදී රාහුල් ගාන්ධි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති සහ කේරළයේ වේයනාද් යන ආසනවලින් ඉදිරිපත් වී සිටියේය. අමෙති කොංග්‍රස් පක්ෂයේ බලකොටුවකි. කෙසේ නමුත් මෙවර රාහුල්ට ඔහුගේ අමෙති අසුන ද අහිමිවිය. අමෙති අසුන ජය ගත්තේ භාරතීය ජනතා පක්ෂයේ ස්මිර්ති ඉරානිය.
වසර 15 ක් තිස්සේ රාහුල්ගේ පියා අගමැති රජිව් ගාන්ධිගේත්, මව සෝනියා ගාන්ධිගේත් ඉන්පසු රාහුල් ගාන්ධිගේත් බලකොටුව වූයේ අමෙති ආසනයයි. මහ මැතිවරණය අහිමිවූවාටත් වඩා අමෙති ආසනය අහිමි වීම කොංග්‍රසයට එල්ල වුණු විශාල පරාජයක් බව පැවැසෙයි.

අන්ද්‍රා ප්‍රදේශ්, අරුණාචල්, දිල්ල, ගුජරාට, හර්යානා, හිමාචල්, ජම්මු කාශ්මීර්, මනිපූර්, මිසෝරාමා, ඔඩීෂා, රාජස්ථාන්, සික්කිම්, ත්‍රීපුර, උත්තරකාන්ද්, නිකොබාර් සහ අන්දමන්, චතිස්ගාර්, දදාර් නගර්, හවේලී, දමාන් දියූ සහ ලක්ෂාද්වීප් යන ප්‍රාන්තවලින් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ඡන්ද ලබා ගැනීමට නොහැකි විය.
මේ අතර, අති බහුකර බලයකින් ජයග්‍රහණය කළ ද භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය කිසියම් පසුබැසීමකට ලක්වී ඇති බව ජය සමරමින් නවදිල්ලියේ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සමුළුවේදී ජනතා පක්ෂ සභාපති අමිත් සිං පැහැදිලි කළේය.

කේරළය, තමිල්නාඩුව සහ පුඩුචෙරි යන ප්‍රාන්ත ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂයට නොහැකි විය. තමිල්නාඩුව ජය ගත්තේ කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂය ඩී.එම්.කේ පක්ෂය සමඟ සන්ධානගතවී සිටියේය.

ඉන්දියාවේ ප්‍රාන්ත 17 ක සියයට 50 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතවක් දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකිවීම සම්බන්ධයෙන් අමිත් සිං සතුට පළ කළේ යැයි ද වාර්තා වේ.

භාරතීය ජනතා පක්ෂය සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේ ආන්ද්‍රා ප්‍රදේශ්, චතිස්ගාර්, දිල්ලි, ගුජරාට, හර්යානා, හිමාචල්, කර්ණාටක, රාජස්ථාන්, උත්තරකාන්ද්, මහාරාෂ්ට, මධ්‍ය ප්‍රදේශ්, බිහාර් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවලිනි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS