රාවුල්ගෙන් පසු කියුබාව මිගුවෙල්ට



රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය, රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල් පිරිනැමීමට කියුබානු පාර්ලිමේන්තුව කටයුතු කළේය.

ඒ අනුව, කස්ත්‍රෝ පවුලේ පාලනයෙන් කියුබාව ගිලිහී යනු ඇතැයි ද පැවැසෙයි. 2006 වසරේ දී රාවුල් කියුබාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වැඩිමල් සොයුරු ෆිදෙල් කස්ත්‍රෝ අසනීප තත්ත්වයෙන් පසුවුණු අවස්ථාවේදීය. ෆිදෙල් කස්ත්‍රෝ සමුගත්තේ 2016 වසරේදීය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 90 ක් විය. ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම රාවුල් ද කියුබාව මෙහෙය වූ ජනතා වීරයන් ලෙස කියුබානු වැසියන් අතරේ පමණක් නොව ලොව පුරා ප්‍රකටය.

තමා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, මෙම 2018 වසරේ දී ධුරයෙන් ඉවත් වී, කස්ත්‍රෝ පවුලෙන් පිට කෙනකුට ජනාධිපති ධුරය පිරි නමන බව රාවුල් නිවේදනය කළේ පසුගිය වසරේදීය.

නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රාවුල් ජනපති ධුරයෙන් ඉවත් වුවත් කියුබාවේ කොමියුනිස්ට් පාලනය තව දුරටත් පවතිනු ඇතැයි ද පැවැසෙයි. රාවුල් කස්ත්‍රෝ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස 2021 වසර තෙක් රැඳී සිටීමට ද නියමිතය.

කියුබාවේ ජනාධිපති ධුරයට පත් වන දියාස් කැනෙල් කියුබා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටී. ඒ, 2013 වසරේ සිටය.

57 හැවිරිදි වියෙහි පසුවන ඔහු රාවුල් කස්ත්‍රෝගේ ‘දකුණු අත’ බවට පත් වූයේ එදා සිටය. දියාස් කැනෙල් උපත ලැබුවේ 1960 වසරේදීය. ඒ, ෆිදෙල් කස්ත්‍රෝ කියුබාවේ අගමැති ලෙස දිවුරුම් දී වසරක් පමණ ගත වෙද්දී යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දියාස් කැනෙල් ඉන්ජිනේරුවෙකි. ඔහු ගුරුවරයකු ද වෙයි. රාවුල් කස්ත්‍රෝ සැමවිටම දියාස් කැනෙල් ගැන පැහැදීමකින් කතා කරන බව ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS