රජය සමඟ සාකච්ඡා නෑ



රුසියාවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, එරට මොස්කව් අගනුවර පැවැත්වුණු සාම සමුළුවට තම නියෝජිත කණ්ඩායමක් සහභාගී වුවත්, බටහිර සහාය සහ අනුග්‍රහය ලබන ඇෆ්ගන් රජය සමඟ තමන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් නැතැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය කියයි.

මොස්කව් අගනුවර පැවැත් වුණු එම සාකච්ඡා සඳහා ඇමෙරිකාවෙන්, ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, ඉරානයෙන් සහ චීනයෙන් පමණක් නොව, පැරැණි සෝවියට් දේශයට සම්බන්ධ රටවල් කිහිපයකින් ද නියෝජිතයෝ සහභාගී වූහ. මැදහත්කරු ලෙස කටයුතු කළේ සත්කාරක රුසියාවය. නියෝජිතයන් මෙහෙයවීම සිදු කළේ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් විසිනි.

‘ඇෆ්ගන් තලේබාන් සාම සමුළුව’ යනුවෙන් මෙම සමුළුව නම් කර තිබුණ ද, ඇෆ්ගන් රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සමුළුවට සහභාගීවූයේ නැත.

ඒ වෙනුවට ඇෆ්ගන් රජය වෙනුවෙන් නමුත් රජයට සම්බන්ධ නොවන, එරට සාම මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් තලේබාන් සාම සමුළුවට සහභාගී වූ බව ද පැවැසෙයි. කිසිදු කොන්දේසියක් නොමැතිව, සාමයට කැප පෙන්නැයි එම සාම සමුළුව තලේබාන් නියෝජිතයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළ බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS