මෝදිට ලෝක නායකයන්ගෙන් දොස්



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර හින්දු මුස්ලිම් ගැටුම් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලෝක නායකයන් කිහිප දෙනකුගෙන් ද දොස් ඇසීමට සිදුවී ඇත.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ඊයේ (28) කියා සිටියේ හින්දු ජාතිකවාදීන් මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීමට උත්සහ ගන්නා බවටය. නවදිල්ලි අගනුවර හින්දු මුස්ලිම් ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 38 දක්වා ඉහළ ගොස් ඇත.

දශක ගණනකට පසු ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍රකොට ගනිමින් හින්දු මුස්ලිම් ගැටුම් ප්‍රචණ්ඩ අයුරින් ඇවිළී ගිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

නවදිල්ලි අගනුවර මුස්ලිම් වැසියන්ට හින්දු ජාතිකවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙන්, අගමැති මෝදිට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් ද ඇසීමට සිදුවී ඇත. ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ නවදිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් නැවැත්වීමට ගත් ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවුණු බැවින්, එම ගැටුම් උත්සන්න වූ බවය.

විරෝධතා පවත්වන සහ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිස් මර්දනය කළ යුත්තේ කඳුළු ගෑස්, බැටන් පොලු සහ රබර් උණ්ඩවලින් පමණක් නොවන බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් පැහැදිලි කර තිබේ.  නවදිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් ඔඩුදුවන්නේ, අගමැති මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විසින් සංශෝධනය කරනු ලැබූ නව පුරවැසි පනත මුල්කොට ගනිමිනි.

එම පුරවැසි පනත සම්බන්ධයෙන් නවදිල්ලියේ මුස්ලිම් වැසියන් විරෝධය දැක්වූ අතර, පුරවැසි පනතට සහාය පළ කරමින් හින්දු ජාතිකවාදීන් එම මුස්ලිම් වැසියන්ට පහර දෙන්න විය.
මුස්ලිම් වැසියන්ට පහර දෙන්නේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පක්ෂපාතී හින්දු අන්තවාදී කණ්ඩායම් යැයි චෝදනා එල්ල වී තිබේ. හින්දු අන්තවාදීන් නවදිල්ලි මුස්ලිම් පල්ලියකට පහර දී ගිනිබත් කළේ යැයි ද පසුගිය 27 වැනිදා වාර්තා විය. නවදිල්ලියේ මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ සහායට හමුදාව යෙදවීමට ද ඒ අනුව පියවර ගැණින.

සංශෝධනය කෙරුණු නව පුරවැසිපනත ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ එය සම්මත වීම සිදුවූයේ පසුගිය 2019 දෙසැම්බරයේය. එම පනත පසුගිය ජනවාරි 10 වැනිදා සිට ක්‍රියාවට නැංවිණි. 

ආන්දෝලනයට හේතුවක් වුණු මෙම නව පුරවැසි පනතට අනුව, 2014 වසරේ දෙසැම්බර් මාසයට පෙර, අනවරස සංක්‍රමණිකයන් ලෙස පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ඉන්දියාවට පැමිණ පදිංචි වී සිටින මුස්ලිම් නොවන හින්දු, ශීක්, බෞද්ධ, ජෛන ආදී වැසියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය හිමි වෙයි.

පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ඉන්දියාවට පැමිණ පදිංචි වූ මුස්ලිම් සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටවී ඔවුන්ගේ රටවල් බලා ආපසු යා යුතුය. නවදිල්ලිය කෙන්ද්‍රකොට ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළීම ආරම්භ වී ඇත්තේ මේ නිසාය.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS