මෝදිට ට්‍රම්ප් විහිළු කරලා



බිරිඳගෙන් වෙන්වී දීර්ඝ කාලයක් තිස්සේ තනිකඩ ජීවිතයක් ගත කරන 67 හැවිරිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහකාරියක සොයා දීමට තමන්ට හැකි යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් පවසා ඇත.

මෝදි විවාහ වී ඇත්තේ ජයෝදාබෙන් නමැති ගුරුවරිය සමඟය. දෙදෙනා වෙන් වී සිටින අතර, මෝදි සැලකෙන්නේ තනිකඩයකු ලෙසය. 66 හැවිරිදි ජයෝදාබෙන් ගුජරාඨයේ හුදෙකලා ගම්මානයක නිහඬව ජීවත් වන බව ද පැවැසෙයි.
මෝදි සම්බන්ධයෙන් ට්‍රම්ප් විහිළු කර ඇත්තේ පසුගිය වසරේදීය. කෙසේ නමුත් එම අවස්ථාවේ එතැන සිටි අය එම ප්‍රසිද්ධ කර ඇත්තේ මීට දින කීපයකට පෙරය.

පසුගිය වසරේ මෝදි, ධවල මන්දිරයට පැමිණ ඇමෙරිකා ජනාධිපතිවරයා සහ බිරිඳ මෙලානියා හමුවිය. ට්‍රම්ප්ගෙන් මෝදිට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ට්‍රම්ප් සහ මෝදි අතරේ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.

හමුවට පෙර, මෝදි ධවල මන්දිරයට පැමිණෙන බව නිවේදනය කළ අවස්ථාවේ මෝදි පැමිණෙන්නේ තනිවම බවත්, බිරිඳ ඔහු සමඟ පැමිණෙන්නේ නැති බවත් ට්‍රම්ප් කාර්ය මණ්ඩලය ට්‍රම්ප්ට පවසා ඇත. ‘එහෙනම් මට පුළුවන් වේවි ඔහුට සහකාරියක සොයලා දෙන්න’ යැයි ට්‍රම්ප් එම අවස්ථාවේදී පවසා ඇත.

ට්‍රම්ප් විහිළු කරමින් මෙසේ පවසා ඇත්තේ ඉන්දියාව සහ අගමැති මෝදි සමඟ පවතින ළෙන්ගතුකම හේතුවෙන් වුවත්, එසේ පැවැසීම උචිත නොවන බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. ට්‍රම්ප් මීට පෙර ද ලෝකයේ රාජ්‍ය නායකයන් සමඟ මේ අයුරින් නොයෙක් විදියේ උචිත නොවන ආකාරයේ විහිළු කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එක් අවස්ථාවකදී මාධ්‍ය හමුවකදී නේපාලය නියනු වෙනුවට ට්‍රම්ප් ‘නිපල්’ (තන පුඩුව) යන වදනත් භූතානයට ‘බට්න්’ (බොත්තම) යන වදනත් භාවිතා කළේය. ඒ, නේපාලය ගැන හෝ භූතානය ගැන හෝ කිසිදු අවබෝධයක් නොමැතිවය. නේපාලය සහ භූතානය යනුවෙන් රටවල් දෙකක් ඉන්දියාවේ අසල්වැසියන් ලෙස පිහිටා ඇති බව පවා ඇමෙරිකා ජනපති ට්‍රම්ප් දැන නොසිටි බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS