මෝදිගේ පක්ෂය ඉදිරියෙන්



ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතින අතර, වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් කොංග්‍රස් පක්ෂය පරාජය කිරීමට, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත.

සියලු ඡන්ද ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නැත. ඡන්ද ප්‍රතිඵල සියල්ල ප්‍රකාශයට පත් කර අවසන් වනු ඇත්තේ 15 වැනිදාය.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලක කණ්ඩායම ලෙස සැළකෙන්නේ රාහුල් ගාන්ධි නායකත්වය දෙන කොංග්‍රස් පක්ෂයයි. කර්ණාටක ප්‍රාන්තයේ බලය වසර ගණනාවක් තිස්සේ කොංග්‍රසය සතුව පැවැතිණි. කර්ණාටක ප්‍රාන්තය සැළකෙන්නේ කොංග්‍රස් පක්ෂයේ බළකොටුව ලෙසිණි.

කර්ණාටක ප්‍රාන්තය මෙසේ කොංග්‍රසයෙන් ගිලිහී යෑම ඔවුන්ට එල්ල වුණු බරපතල පරාජයක් බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති. කර්ණාටක ප්‍රාන්තයේ ආසන 224 කි.

කර්ණාටක යනු ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය සහ කර්මාන්ත පුරයයි. එහි ජනගහණය මිලියන 64 කි. මිලියන 49 ක් මෙවර ප්‍රාන්ත මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටි බව වාර්තා විය.

ඉන්දීය මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වෙයි. දිගින් දිගටම සිදුවුණු ප්‍රාන්ත මැතිවරණ පරාජයත් සමඟ අගමැති මෝදි සහ ඔහුගේ ජනතා පක්ෂයට අභියෝගයක් වීමට කොංග්‍රසයට නොහැකි වනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS